Friday, April 26, 2024
Follow Us
රනිල් කියන්නේ බොරු

සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූයේ ප්‍රමාණවත් නීති නොමැතිවීමෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ අද(02) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණි බුද්ධි නිලධාරීන්ද එය තහවුරු කළ බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

LTTE සංවිධානයට ලැබුණු ජන සහය සහරාන්ලාට නොලැබෙන බව තහවුරු නිසා ඔවුන් මර්දනය කරන්න නව නීති අවශ්‍ය නැති බව හෙතෙම ප්‍රකාශ කළේය.

පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මගින් LTTE සංවිධානය වැනි ප්‍රබල ත්‍රස්තවාදී ව්‍යාපාර පරාජය කිරීමට හැකි වූ අතර මේ වනවිටත් එම පනත ක්‍රියාත්මක බවයි ඔහු පෙන්වාදුන්නේ. එහෙයින් ත්‍රස්තවාදය මැඩලීමට නීති ප්‍රමාණවත් නොවන බව පැවසීම මුසාවක් බව බිමල් රත්නායක මහතා අවධාරණය කළේය.

අගමැතිවරයාගේ අරමුණ වී ඇත්තේ 1979 ස්ථාපිත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පවත්වාගෙන යන අතරතුර නව මර්දන නීති ඇතුළත් පනතක් ගෙන එම බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

අගමැතිවරයා උත්සහ කරන්නේ බොරදියේ මාළු බෑමට බවයි ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් ආණ්ඩුව දැන් කළයුත්තේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව හා අන්තවාදීන් නිවැරදිව හඳුනා ගෙන සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදීන්ට සහය නොදෙන තැනට කටයුතු කිරීම බව බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)