Thursday, April 25, 2024
Follow Us
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ්‍රීලනිපය තීන්දුව ගනී

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිය පක්ෂය මේ වනවිට අවසන් තීරණයක් ගෙන ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත කියා සිටියේ බහුතර ජනතාවගේ මතය සිය පක්ෂයේ මතය වන බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ "අපේ රටේ ජනතාවගේ බහුතර මතයත් සමග අපි ඉන්නවා. රටේ ජනතාව ස්ථාවර මතයක ඉන්නවා...ඔවුන්ගේ මතයෙන් අපිට බැහැර වෙන්න බෑ. ඒ නිසා ශ්‍රීලනිපය පැහැදිළි තීන්දුවක් දැනට අරගෙන තියෙනවා. එය අනාගතයේ ක්‍රියාත්මක වෙයි." යනුවෙනි.

ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව කරුණු 10ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවක් ඉකුත් දා කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දුන්නා. ඒ අනුව ලබන 18 සහ 19 යන දෙදින එම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමටයි කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේ.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණ ද ප‍්‍රකාශ කර තිබෙනවා. විමර්ශන අවසන් වන තෙක් සිය අමාත්‍යධූරයෙන් ඉවත් වීමට රිෂාඞ් බදියුදීන් කටයුතු නොකළ හොත්, තමන්ද එම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ද ඉකුත් දා ප‍්‍රකාශ කළේ.

(Neth)