Friday, April 26, 2024
Follow Us
මම ඉම්පොර්ටඩ් බඩුවක් නෙවෙයි - ධම්මිකගෙන් මංගලට පිළිතුරු

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉම්පොර්ටඩ් බඩු ඉදිරිපත් කිරීමට ඉඩක් නොදෙන බව පසුගියදා ස්වාධීන රූපවාහිනියේ "සංවාදය" වැඩසටහනේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කළේය.

ඔහු ඒ බව සඳහන් කළේ "ධම්මික පෙරේරා ඔබතුමන්ලගේ පොදු අපේක්ෂකයා වෙනවා'' දැයි වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදියා කළ විමසීමට පිළිතුරු ලබා දෙමිනි.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

ඔහු පවසන්නේ "මම ඉම්පොර්ටඩ් බඩුවක් නෙවෙයි හොඳ හෝම් ග්‍රෝන්" බඩුවක් බවයි.

මංගල සමරවීර අමාත්‍යවරයා පවසන ආකාරයට තමන්ගේ ඉම්පොර්ටඩ් කෑල්ල කුමක්ද යන්න ඔහු පෙරළා ප්‍රශ්න කරයි.

තමන්, රටට අගමැතිවරුන් බිහි කළ පස්දුන් කෝරළයේ හොරණින් උපන් දේශීය පුත්‍රයෙකු වන අතර හොරණ තක්ෂිලාවෙන් අධ්‍යාපනය ලබා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි ඉංජිනේරු ඩිප්ලෝමාව හැදෑරු පුද්ගලයෙක් බව ධම්මික පෙරේරා මහතා සිහිපත් කරයි.

තමන්ගේ ලෝකල් බව මංගල සමරවීර අමාත්‍යවරයාට ප්‍රශ්නයක් වුවද ඔහුගේ ලෝකල්, ඉම්පොර්ටඩ් බව විමසීමට තමන් පෙළෙඹෙන්නේ නැති බවද ඔහු කියා සිටියි.

මා ගැන හොඳින්ම දැන සිටි කෙනා ලලිත් ඇතුලත්මුදලි

අද එක්සත් ජාතික පක්ෂයට තමන් සම්බන්ධයෙන් භීතියක් හට ගෙන ඇති බව පවසන ධම්මික පෙරේරා මහතා පෙන්වාදෙන්නේ තමන්ගේ හැකියාව නිවැරදිව හඳුනාගැනීමට හැකි වූ දේශපාලඥයා ලලිත් ඇතුළත්මුදලි මහතා බවයි. ලලිත් ඇතුලත්මුදලි මහතා සිය රූපවාහිනී යන්ත්‍රය අලුත්වැඩියා කරගැනීම සිදුකළේ තමන්ට අයත් ටයිටෝ සමාගමෙන් බව ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

තමන්ගේ හැකියාවන් දැන හඳුනා ගැනීමෙන් පසු ලලිත් ඇතුලත්මුදලි මහතා තමන් සමඟ පැය ගණන් කතාකරමින් සිටි බවද එම ඉතිහාසය නොදන්නා අය දැනගත යුතු බවයි ඔහු කියාසිටින්නේ.

කෙසේවෙතත් මේ වන විට තමන් සම්බන්ධයෙන් එජාපයට මෙතරම් භීතිකාවක් හටගෙන ඇත්තේ ඇයිද යන්න ප්‍රශ්නයක් පවතින බව ඔහු පවසයි.

"2020 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් විදිහට මගේ නම කියවෙනවා. නොයෙක් කතා මාධ්‍ය මඟින් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. නමුත් මම තවම ඒ ගැන මොනවත් කියලා නැහැ. මම කොතනකවත් කියලා නැහැ මම තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා. එහෙම තත්ත්වෙක ඇයි මේ යූඑන්පී ය කලබල වෙලා."

මම මඩ ගහන ප්‍රතිපත්තියක නැහැ

මේ අතර තමන් කිසිවෙකුට හෝ මඩ ගසමින් අනවශ්‍ය කතා කියමින් හැසිරෙන තැනැත්තෙක් නොවන අතර තමන් වටා සිටින අයට හෝ එවැනි අවසරයක් නොමැති බව ඔහු අවධාරණය කරයි.

" මට කාටවත් මඩගහන්න අවශ්‍ය නැහැ. මේ රටේ දේශපාලකයෝ දන්නේ මඩ ගහන්න. වැඩ කරන හැටි ඔවුන් දන්නේ නැති තරම්. ධම්මික පෙරේරා කියන්නේ දැනුමෙන් වැඩකරන කෙනෙක්. මම හැප්පෙන්නේ දැනුම එක්ක."

ඒ අනුව ඕනෑම අවස්ථාවක් ඕනෑම ආකාරයේ විද්වතුන්, මහාචාර්යවරුන් සමඟ දැනුම බෙදා ගැනීමට සූදානම් බවද හෙතෙම සඳහන් කරයි.

දැනුමෙන් සහ හැකියාවෙන් මේ වන විට තමන්ට අවශ්‍ය දේ කර අවසන් අතර දැන් අවශ්‍ය වන්නේ රටට යමක් කිරීමට බව ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

(LNW)