Friday, October 18, 2024
Follow Us
මම හදවතට එකඟව රටට වැඩ කරනවා. මට බැරි වෙන දේ පුතා කරාවි - රාජිත

තමන් හදවතට එකඟව රට වෙනුවෙන් සේවය කරන බවත් එය ජනතාවට තේරෙනවිට තවත් කලක් යා හැකි බවත් තමන්ට ඉටු කිරීමට නොහැකි වුණු සේවාව තම පුතු වන චතුර සේනාරත්න මහතා ඉදිරියට කරගෙන යනු ඇතැයි තමන්ට විශ්වාස බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති තනතුරක් සඳහා දෙවන වරටත් පත්වීමෙන් අනතුරුව ජිනීවා නුවර සිට අද (01) අළුයම දිවයිනට පැමිණි අවස්ථාවේදී පැවති උත්සවයක් අමතමිනි.

තමන් විසින් ආරම්භ කළ හෘද රෝගීන්ට නොමිලේ ස්ටෙන්ස් ලබාදීම, සුවදිවි සහ සුවනාරී මධ්‍යස්ථාන 1700ක් ආරම්භ කිරීම වැනි වැඩපිළිවෙලවල් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ද ක්‍රියාත්මක කළ බව පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රචාරය අවම වුවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය ප්‍රචාරණය හොඳින් සිදුකළ බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ජයග්‍රහණයට හේතුවූයේ ඔහු දුප්පත් ජනතාවට කළ සේවය බව පැවසූ අමාත්‍යවරයා ජාතිකවාදයට වඩා එම සේවය ජයග්‍රහණයට බලපෑ බවත් අවධාරණය කළේය.

2017 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලොව හොඳම සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව පැවසූ බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

"නිදහස් සෞඛ්‍ය සේවාවක් අප රටේ මම ක්‍රියාත්මක කරන්නේ විවෘත ආර්ථිකය තුලයි. සමාජවාදී රාජ්‍යයක සෞඛ්‍ය අමාත්‍යධූරය දරන්නේ නම් මීට වඩා සේවාවක් ඉටු කළ හැකියි.

සෞඛ්‍ය සේවාව තුල මම ඉටු කළ කාර්යයන් දේශපලන කොණයෙන් බලලා විවේචනයට ලක් කරනවා. රජයට පවහර ගහනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි තනතුරු ලබාදෙන්නේ දේශපාලන කෝණයෙන් බලන්නේ නැතිවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සාමාජිකයින් 35 ක් සහභාගි වූ රැස්වීමේ දී මට උපසභාපතිවරුන් අතර පළමු උප සභාපතිධූරය ලබාදුන්නා. මගේ උපන් දිනය දා ලැබුනු එම උපසභාපතිධූරය ත්‍යාගයක් ලෙසයි මා සළකන්නේ.

විධායක කමිටු සාමාජිකයින් ද ලංකාවේ සෞඛ්‍ය සේවාව හොද සෞඛ්‍ය සේවාවක් බව පිළිගනු ලැබූවා. මෙම උපසභාපතිධූරය හිමිවන්නේ අප විසින් ඉටු කළ වැඩකොටස දෙස බලයි. මෙම තනතුර රටට කීර්තියක්.

අපි ගන්නා තීන්දු තීරණ වල ප්‍රතිඵල දුප්පත් ජනතාවටයි. එම තීන්දු තීරණ වල ප්‍රතිඵල ඉදිරියේ දී ජනතාවට ලබාගන්න පුළුවන්. මෙම ගමන විවිධ බාධක මැද තමයි සිදු කළේ. දුප්පත් ජනතාව වෙනුවෙන් ඉටු කරන සේවාවන් එම බාධක බිද දමමින් ඉදිරියටම සිදු කරනවා. මම දේශපාලනයට පැමිණියේ ධනවතුන්ට සේවය කිරීමට නොව දුප්පතුන්ට සේවය කිරීමටයි.

මෙම සේවාව ඉටු කිරීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය ලබාදෙන සහයෝගය මම අගය කරනවා." යනුවෙන් ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(LNW)