Friday, October 18, 2024
Follow Us
කෙහෙළියගේ නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනමක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවක් ලබන මස 11 වනදා විභාගයට ගැනීම වලක්වා ලන තහනම් නියෝගයක් කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇත්තේ රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව මතයි.

2012 වසරේ මාර්තු 15 වැනිදා සිට අප්‍රේල් 14 වැනිදා දක්වා රඹුක්වැල්ල මහතා විසින් භාවිතා කළ පෞද්ගලික දුරකතනයට අදාල බිල්පත් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවා ඇති බවට අල්ලස් ‍කොමිසම මගින් අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකර තිබේ. එම බිල්පත්වල වටිනාකම රුපියල් දෙලක්ෂ තිස්එක් දහසකි. (231,000)

මෙම නඩුවට එරෙහිව රඹුක්වැල්ල මහතා විසින් මහාධිකරණය ඉදිරියේ ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අදාල අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

තම ප්‍රතිශෝධන පෙත්සම විභාග කර තීන්දුව ලබාදෙන තෙක් අදාල නඩු විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, මහේස්ත්‍රාත්වරයාගේ තීරණය බල රහිත කොට තමන් මෙම නඩුවෙන් නිදහස් කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් රඹුක්වැල්ල මහතා මහාධිකරණ පෙත්සමෙන් ඉල්ලා සිටී.

අදාල පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන 11 වැනිදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිළධාරීන්ට නොතීසි නිකුත් කර තිබේ.

(LNW)