Wednesday, January 15, 2025
Follow Us
සජිත්ටයි අනුරටයි රනිල්ගෙන් චෝදනාවක්

තමා රටේ නායකත්වය භාරගත්තේ වෙනත් අයෙක් නොසිටි නිසා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනතාව දුකසේ සිටින විට සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ජනතාව වෙනුවෙන් අත් නොඉස්සු බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වික්‍රමසිංහ මහතා පවසන්නේ ඔවුන් දැන් බලය ලබාගැනීමට ඉදිරිපත් වී ඇත්තේ කෑදරකමට බවය.

ඔහු එසේ පැවසුවේ කොස්ගම පැවති ජනහමුවකදී ය.

"අනිත් අය කියන්න මොකක්ද කළේ කියලා. අපිට වේදනාවක් තිබුණා. වේදනාව තිබෙන නිසා ක්‍රියා කළා. ඒ අයට වේදනාව තිබුණේ නැත්ද? ඔබේ දුක දැක්කේ නැත්ද? දරුවෝ පාසල් නොයන එක දැක්කේ නැත්ද? අන්න ඒවාට පිළිතුරු දෙන්න ඕනේ. මම මෙතෙන්ට ආවේ වේදනාව නිසා. මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්නලු. ඒ ගොල්ලන්ව ආරක්ෂා කළා නම් ඒ අය මේ වේදිකාවේ ඉන්න එපැයි. ඒ වෙලාවේ වේදනාව දැකලා ආවේ නැති අය ඇයි දැන් එන්නේ? කෑදරකමට.

අද සජිත් හා අනුර කරන්නේ  කතා කරන එක විතරයි. 2022 වසරේ ජනතාව පෝළිම්වල දුක් විඳින විට මේ අය හොයාගන්න හිටියෙත් නැහැ. දැන් කියනවා ජනතාවගේ අනාගතය ඔවුන්ට භාර දෙන්න කියලා. ඒ සඳහා මේ රටේ ජනතාව සූදානම් නැහැ කියා මම දන්නවා. අප සියලුදෙනා එක්ව රට දියුණු කරමු. ඒ සඳහා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය දී එම ගමන ශක්තිමත් කරන්න කියා මම සියලු ජනතාවගෙන් ඉල්ලනවා."