Monday, September 16, 2024
Follow Us
ජනපති ඉලංගෙයි තමිල් අරසු කච්චි නායකයා හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර, දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේය.


අද (07) යාපනයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලි දෙකකට සහභාගි වු ජනාධිපතිවරයා අනතුරුව කන්කසන්තුරේ පිහිටි මාවෙයි සේනාධිරාජා මහතාගේ නිවසට පැමිණ ඒ මහතා සමඟ සාකච්ඡාවකට එක් විය.

එහිදී මාවෙයි සේනාධිරාජා මහතා විසින් ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ පැවති හමුවේ දී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙන්ම දෙමළ ජනතාවගේ ගැටළු සහ  උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවයි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝ කාලයක් පුරා විසඳුම් නොලැබුණු උතුරේ දෙමළ ජනතාවගේ ගැටලුව විසඳීමට මහඟු වගකීමක් පැවරි ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම යුද්ධයෙන් විනාශයට පත් දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ යළි සංවර්ධනය කරමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග  දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේය.