Saturday, September 07, 2024
Follow Us
කිසිවකුගේ බලපෑමට මැතිවරණ කොමිෂන් සභාව හිස නමන්නේ නැහැ - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

කිසිවකුගේ බලපෑමට මැතිවරණ කොමිෂන් සභාව හිස නොනමන බවත්, කිසිඳු බලපෑමකින් තොරව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ දිනය ප්‍රකාශයට පත් කර තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී  ය.

මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනතේ තිබෙන විධිවිධාන වලට අනුව පමණක් බවත් සභාපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

පනතේ සඳහන් පරිදි ගත හැකි අවම සහ හොඳම දිනයක් මේ සඳහා තෝරා ගෙන තිබෙන බවත්, ඡන්ද දායකයින් වැඩි පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවනු ඇති බවට වන විස්වාසය මත හා එවැනි හේතු ගණනාවක් මුල් කරගෙන මෙන්ම විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වීමේ අවස්ථාව ද ගෙන සෙනසුරාදා දිනයක් යොදා ගැනීමට කටයුතු කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපතිවරණ පනතේ සඳහන් වන්නේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කරන දිනයේ සිට දින 16 ත් 21 ත් අතර නාම යෝජනා භාර ගැනීමේ දිනයත්, එදින සිට සති 4ත් 6 ත් අතර ඡන්ද විමසීමේ දිනයත් යනුවෙනි.

ඒ අනුව අද සිට මැතිවරණයට අදාළ නීතිරීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද, ඡන්ද ඉල්ලන අපේක්ෂකයින්ගෙන් සහ ආධාර කරුවන්ගෙන් සහ අනිකුත් සියලුම දෙනාගෙන් සාධාරණ සහ නිදහස් ඡන්ද විමසුමක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ක්‍රියාමාර්ග වලට අනුකුලතාවය පළ කර නිවැරදිව ඡන්ද විමසීම පවත්වා ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ද හෙතෙම ඉල්ලිමක් කළේය.

අද සිට මැතිවරණ පනතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන විධිවිධාන ක්‍රියාත්මක කෙරේ.

දේශපාලන පක්ෂයක් හෝ එවැනි අයෙක් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සහ එම මැතිවරණ පනතේ සඳහන් වන නීතිවිරෝධී ක්‍රියාවන් කිසිවක් සිදු කිරීමට අවස්ථාවක් නොලැබෙන අතර මැතිවරණ වැරදි සඳහා මෙතෙක් පැවති දඩ මුදල් සහ අනිකුත් නීත්‍යානුකුල පියවරයන් වැඩි කිරීමට මෙවර කටයුතු කර තිබේ.

ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව නියමයන් නියෝග හා උපමාන කඩිනමින් නිකුත් කිරීමක් සිදු කිරීමට කටයුතු කරන අතර එමඟින් වැරදි කරන්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අද සිටම ඇප මුදල් භාර ගැනීම ආරම්භ වෙන අතර ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි වේ.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 50,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ ඡන්දහිමියෙකු විසින් යෝජනා කරන ලද අපේක්ෂකයෙකු රුපියල් 75,000ක මුදල් ඉදිරිපත් කළ යුතු වේ.