Sunday, September 08, 2024
Follow Us
මෙරට ජාතික සම්පත තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවේ

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා අද බොහෝ රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් නොවී ක්‍රියාත්මක වන බවත්, මෙම වසර අවසන්වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ ගෙවීම් කටයුතුවලින්ද නිදහස්වීමට රජය අපේක්ෂා කරන බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (19) පෙරවරුවේ එක්වෙමිනි.

සමරු ඵලකය නිරාවරණය කර විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩලය සමඟ සුහඳ කතාබහක ද නිරත විය.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තළිණයක්ද පිළිගැන්වීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යා පීඨ භූමියෙහි පැලයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මෙම සම සෞඛ්‍ය පීඨය විවෘත කිරීම වෙනුවෙන් රමේෂ් පතිරණ අමාත්‍යවරයා කැපවී කටයුතු කළා. මෙම ගොඩනැඟිල්ලෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඇමරිකාව වැනි ප්‍රධාන විශ්වවිද්‍යාලවල මෙවැනි ගොඩනැ‍ඟිලිවලින් පැය 24ම ප්‍රයෝජන ලබා ගන්නවා. රජයේ මුදල් අධ්‍යාපනය සඳහා යෙදවූ විට අප එහි සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගත යුතුයි. මෙම පංති කඩාකප්පල් වුවහොත් එහි හානිය ඔබට වගේම රටටත් සිදු වෙනවා.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට සහ එම සංස්ථාවලට බිලියන 700ක් වියදම් කළ බව මෙහිදී සඳහන් කෙරුණා. නමුත් එය නිවැරදි විය යුතුයි. එම බිලියන 700 ය තවත් දස ගුණයකින් වැඩි කළයුතුයි. මෙවන් විශාල මුදලක් වැය කිරීමේ ප්‍රතිඵලය වුයේ රජයන් තුනක් යටතේ මේ වෙනුවෙන් ණය ලබා ගැනීමයි. ඒ හේතුවෙන් අපේ රටේ ණය ප්‍රමාණය වැඩි වුණා.

රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ අපට පළමුව සිදු වූයේ ණය ලබා ගැනීම නවතා දැමීමටයි. එය අසීරු කාර්යයක්. නමුත් එය සිදු කළ යුතු වුණා. ඒ වෙනුවට අලුතින් මුදල් සොයා ගැනීමට අවශ්‍ය වුණා. එහිදී තමන්ගේ වියදම තමන් උපයාගත යුතුයි කියලා අප සෑම රාජ්‍ය ආයතනයකටම දැනුම් දුන්නා.

මෙම තත්ත්වය සෑම ක්ෂේත්‍රයකටම බලපානු ලැබුවා. එහිදී මට දැඩි දෝෂාරෝපණයට ලක්වීමට සිදු වණා. රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දෙනවද, බැණුම් අහනවද කියලා මට තීරණය කිරීමට සිදු වුණා. නමුත් මේ වගකීමෙන් බැහැර වීමට අපට හැකියාවක් තිබුණේ නැහැ. සියලු අමාත්‍යවරුන් අපට එම කටයුතුවලදී අවශ්‍ය සහාය ලබා දුන්නා.

එදා ඇතැම් අය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට විරුද්ධ වුණා. අද විදුලිබිල සහ ඉන්ධන මිල ලෝක මිල ගණන් අනුව පවතිනවා. අපි ඒ වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවන්නේ නැහැ. ඒ වගේම අනෙක් සංස්ථාවලටත් මුදල් ලබාදීම නතර කළා. අපට දැනට මුදල් ගෙවීමට තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පමණයි. මෙම වසර අවසන් වන විට එම ගෙවීම් කටයුතුවලිනුත් නිදහස් වීමට අපේක්ෂා කරනවා. ඒ අනුව රටට ඉතිරිවන මුදල් ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා යෙදවීමේ හැකියාව ලැබෙනවා.

මෙම කටයුතු ක්‍රියාත්මක කරන විට විශාල විවේචනයක් එල්ල වුණා. මම එහිදී ඇසුවේ එකම ප්‍රශ්නයයි. අපේ ජාතික සම්පත සංස්ථාද, තරුණ පරපුර ද කියා මම විමසුවා. අප අලාභ ලබන සංස්ථා ආරක්ෂා කරනවා ද, අධ්‍යාපනයට , සෞඛ්‍යට මුදල් ලබා දෙනවාද කියා තීරණය කළ යුතුයි. මෙම අලුත් වැඩසටහන් සමඟ ඉදිරි වසර දෙක, තුන තුළ නව ආර්ථික පරිවර්තනයක් සිදු කරමින් රට ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.