Sunday, September 08, 2024
Follow Us
ඉදිරියේදී ත්‍රී රෝද රථ නියාමනය කිරීමේ බලය NTC වෙත

ඉදිරියේදී ත්‍රී රෝද රථ නියාමනය කිරීමේ බලය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට ලැබෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද(10) පාර්ලිමේන්තුවේදි වාචික ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

ත්‍රී රෝද රථ විශාල මහජනසේවාවක් ඉටු කරනවා. එය අප පිළිගත යුතුයි. ත්‍රී රෝද රථ නියාමනය කළ යුතුයි. ඒ් සඳහා අවශ්‍ය බලතල නොමැති නිසා ජාතික ගමනා ගමන පනත සංශෝධනය කර, මෙම තත්වය වෙනස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙනවා. දැනට තිබෙන පනත අනුව ගමනා ගමන කොමිෂන් සභාවට බලය තිබෙන්නේ බස් ගස් සංශෝධනය කිරීම සඳහා පමණයි.

පාසල් වෑන් රථ, සහ ත්‍රී රෝද රථත් නියාමනය කිරීමේ බලය ගමනා ගමන කොමිෂන් සභාවට ලැ‌බෙන පරිදි මෙම පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙනවා. එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට යොමු කරනවා. ත්‍රී රෝද රථ වලට මීටරයක් සවි කළ යුතු බවට සහ රිසිට් පතක් ඉල්ලුවොත් ඒය නිකුත් කළ යුතු බවට නීති තිබුණත් එය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙම කටයුතු නිසි පරිදි නියාමනය කළ හැක්කේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට නියාමනය කිරීමේ බලය ලැබෙුණොත් පමණයි. ඉදිරි මාස 02 පමණ කාලයේදී එම කටයුතු සිදු වෙනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුව මගීන්ගේ ආරක්ෂාව සඳහා ත්‍රී රෝද රථ වල තිබිය යුතු අංග පිළිබඳ හඳුන්වා දී ඇති බවත්, ඉදිරියේදී විදුලි ත්‍රී රෝද රථ යොදා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. දූෂණ සහ අක්‍රමිකතා අවම කිරීම සඳහා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද අමාත්‍යවරයා කීය.