Friday, July 05, 2024
Follow Us
මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කල් තබා ඇති බැවින් සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් රට තුළ මැතිවරණ නීතිය තවමත් බලාත්මක පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොමිෂම සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 "ඒ" වගන්තිය ප්‍රකාරව මෙම නීතිය බලාත්මකව පවතින බවයි.

මෙම තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාලසීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක්, අපේක්ෂකයෙක්, ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.

ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපලක් යොදා නොගත යුතු බවට සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් විශේෂ ගැසට් පත්‍රයක් හා චක්‍රලේඛයක් මඟින් දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

2313/32 දරණ ගැසට් පත්‍රය සහ 2023 ජනවාරි මස 05 වන දින නිකුත් කළ අංක 20 දරණ චක්‍රලේඛය ඒ අනුව තවදුරටත් බලාත්මකව පවතින බව ද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඒ අනුව මෙම කාලසීමාව තුළ දී මැතිවරණ නීති කඩවන ආකාරයෙන් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ඉදිරි ඡන්ද විමසීම් නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති විධිවිධාන සහ චක්‍රලේඛවලට අනුගතව කටයුතු කරන ලෙස ද සියලු පාර්ශයයන්ගෙන් එම කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.