Sunday, June 23, 2024
Follow Us
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වෙයි

මෙරට පැවැති බෙදුම්වාදී යුද්ධයේදී සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුධ අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහිව යුධ අපරාධ සම්බන්ධව සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්රණයක් අවුරුදු 2ක සිට ස්විට්සර්ලන්තයේ ජිනීවාහි 46/1 යෝජනාව අනුව පිහිටුවා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති ගර (ආචාර්ය) සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා තවදුරටත් සඳහන් කළේ එම යාන්ත්රණය විසින් මෑතකදී ප්රකාශයට පත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ මෙරට හමුදා නායකයන්ට එරෙහිව සැලකිය යුතු සාක්ෂි ප්රමාණයක් ඔවුන් සතුව ඇති බවයි.

මෙම අදහස් පළවූයේ පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති (ආචාර්ය) සරත් වීරසේකර මහතාගේ ප්රධානත්වයෙන් ජුනි මස 05 රැස්වූ අවස්ථාවේදීය.
 
මෙහිදී තවදුරටත් අවධාරණය වූයේ මෙලෙස යුධ අපරාධ සිදු කරන ලදැයි සාක්ෂි ලැබී ඇති මෙරට හමුදා නායකයන්ට එරෙහිව සර්ව ලෝක අධිකරණ බලය යටතේ අදාළ රටවල සහ ජාත්යන්තර අධිකරණයේ නඩු පැවරීම සඳහා දැනට රටවල් කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරමින් පවතින බවයි. මෙම බාහිර යාන්ත්රණය මෙරට විදේශ කටයුතු අමාත්යාංශය විසින් ප්රතික්ෂේප කර තිබුණ ද, මෙරට හමුදා නායකයන්ට එරෙහිව දිගින් දිගටම සාක්ෂි එකතු කරමින් සිටින බවත් මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ සර්ව ලෝක අධිකරණ බලය මත මෙරට හමුදා නිලධාරීන් ලෝකයේ ඕනෑම රටකදී අත්අඩංගුවට ‌ගෙන ඔවුන්ට එරෙහිව ජාත්යන්තර අධිකරණයේ නඩු පැවරිය හැකි වීමයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්යාංශය පැවසුවේ ජීනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාවන්ට එරෙහිව ප්රබල විරෝධතාවයක් පළකර මේ සම්බන්ධව අපක්ෂපාතීව කටයුතු කරන රටවල් දැනුවත් කිරීමට තම අමාත්යාංශය කටයුතු කර ඇති බව යි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමට කාරක සභාව හමුවට කැඳවන ලද නීතීඥ දර්ශන වීරසේකර මහතා ප්රකාශ කරන ලද්දේ ශ්රී ලංකාවට බාහිර යාන්ත්රණය සාක්ෂි සහිතව බිඳ හෙළිය හැකි ශක්තිමත් දේශීය යාන්ත්රණයක් තිබිය යුතු අතර මේ සඳහා එල්.එල්.ආර්.සී වාර්තාව සහ පරණගම වාර්තාවේ කරුණු ඇතුළත් කර ශක්තිමත් දේශිය දත්ත ගොනුවක් සකස්කොට තිබිය යුතු බවයි.
ස්ථාපිත කිරීමට යෝජිතව ඇති සත්යය සහ ප්රතිසංධානය සම්බන්ධ කොමිෂන් සභාව මඟින් ද තවදුරටත් මෙරටට විරුද්ධව පවතින බාහිර බලවේගවලට සහයෝගයක් ලැබෙනු ඇති බව කාරක සභාවේ සභාපති  (ආචාර්ය) සරත් වීරසේකර මහතා ප්රකාශ කර සිටියේය.
 
ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත ද මෙදින කාරක සභාවේදී සලකා බලන ලද අතර ශ්රේෂ්ඨාධිකරණය දක්වා ඇති පරිදි නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සංශෝධන සියල්ල සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි විය.
 
මීට අමතරව මෙරටට ගැලපෙන පරිදි ත්රස්තවාදය යන පදය අර්ථ දක්වා නොමැති බව ද, ත්රස්තවාදියා බිහි වනුයේ පුහුණුවීම් ගණනාවක ප්රතිඵලයක් මඟින් බැවින් මෙම පුහුණුවීම්, චින්තන විපර්යාස බිහිවන කාලයේදී ත්රස්තවාදියා හසු කර ගැනීමේ ක්රමවේදයක් නොමැති බවද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.