Saturday, July 27, 2024
Follow Us
හර්ෂගෙන් CIDයට විශේෂ දැනුම්දීමක්

ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

CIDය විසින් විමර්ශන ආරම්භ කර ඊට අදාළ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ CIDයට ස්තූතිය පළකරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් විසින් සිදුකළ එම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් බවය.

එසේම එම අවස්ථාවේදී කථානායකවරයා විසින් තමන්ට ජීවිත තර්ජනයක් තිබේද යන්න විමසූ බවත් එවැන්නක් නොමැති බව තමන් විසින් ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා පොලීසියට දැනුම්දී තිබේ.

දැනට එවැනි විමර්ශනයක් අවශ්‍ය නොවන බවත් එසේ අවශ්‍යවන්නේ නම් නැවත දැනුම්දීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කථානායකවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද පොලීස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.