Saturday, July 27, 2024
Follow Us
"හර්ෂට මරණ තර්ජන" : සජිත් ගෙන් පැමිණිල්ලක්

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාට එම විමර්ශන නවතන ලෙසට කිසියම් කණ්ඩායමක් තර්ජනය කර ඇති හෙයින් ඒ ගැන වහාම සොයා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්   කතානායකවරයාගෙන්  පාර්ලිමේන්තුවේදී අද (7) ඉල්ලීමක් කළහ.

හර්ෂද සිල්වා මහතා ගුවන්තොටුපොළේ වීසා ගනුදෙනුව ගැන සොයද්දී ඒ ගනුදෙනුවෙන් සල්ලි ගත්තු අය "තමුසේ මේවා හොයන්න එපා" යනුවෙන් තර්ජනය කර ඇති බවත් මේ තත්වය හේතුවෙන් හර්ෂ මන්ත්‍රීතුමාගේ ආරක්ෂාව වැඩි කරන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී   මුජිබර් රහුමන් මහතා  පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ හර්ෂද සිල්වා මහතා පැවසුවේ තමාගේ ආරක්ෂාව ගැන කතානායකවරයාට වගකීමක් ඇති බවයි.

"මේක ඩොලර් බිලියන ගාණක වැඩක්. මාව පාරෙ මරලා දැම්මොත් මේකෙ පිටිපස්සේ ඉන්න කට්ටියට වගකියන්න සිද්ධ වෙනවා. මොකක්ද මට  කරන්න කියන්නේ. මේකේ වංචා දූෂණ වහන්නද කියන්නේ. මෙහෙම තර්ජනය කරන්න, චෝදනා කරන්න පුළුවන්ද" යැයි මන්ත්‍රීවරයා කීවේය.

කටුනායක ගුවන්තොටුපළේ වීසා අර්බුදය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන  බවද  ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මේ අර්බුදය ගැන සෙවීමට යද්දී හර්ෂද සිල්වා මහතාට රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්  තර්ජනය කරන බවයි

මහ බැංකු ගනුදෙනුවට වැඩි විනාශයක් මෙතන සිදුවී ඇති බවත් එතුමාට තර්ජනය කිරීම වහා නවතන ලෙස තමා ඉල්ලා සිටින බවත්  විපක්ෂනායකවරයා කීවේය.

කතානායක;

ඒ ගැන මට  පැමිණිල්ලක් ලැබිල නැහැ.
කවුද ඔබට තර්ජනය කළේ.

හර්ෂද සිල්වා මහතා;

මේක යට අදෘශමාන බලවේගයක්  ඉන්නවා. මම දන්නේ නැහැ කවුද කියලා. මම කියන්නේ මගේ ජීවිත ගැන අවදානමක් තියෙන එක විතරයි.

කතානායක;

ඔබේ ජීවිතයට තර්ජනයක් තියෙනවද?

හර්ෂද සිල්වා මහතා;

මගේ සපත්තු දෙකට ඔබතුමා ආවොත් මෙතන තියෙන ගැටලුව මොකක්ද කියලා තේරේවි..

කතානායක;

එහෙම තර්ජනයක් තියෙනවානම් කියන්න. විභාග කරන්න පුළුවන්

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා;

සමහරු ඔය චෝදනාව මටත් එදා  දැම්මා.

Lankadeepa