Thursday, May 02, 2024
Follow Us
ජනතාව ඉල්ලු  ක්‍රමයේ වෙනස  සිදු කර තිබෙනවා

ජනතාව ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස සිදු කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සිංහල - හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ උත්සවයට ඊයේ (17)  සහභාගී වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේවන විට මෙරට කම්කරු ක්ෂේත්‍රය තුල සාධණීය වෙනස්කම් රැසක් සිදුකිරීමට හැකියාවක් ලැබුණු බවත් එම වෙනස්කම් සඳහා මූලික අඩිතාලම ඉකුත් වසර අවසානයේදී දැමීමට පියවර ගත් බවත් ඊට අනුගතව එම කටයුතු මේවන විට ඉතා සාර්ථකව සිදුවන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේදී පැවසීය,

“මීට අවුරුදු දෙකකට විතර කලින් ජනතාව පාරට බැහැලා කෑගහලා සිස්ටම් එකේ වෙනසක් ඉල්ලුවා. නමුත් සමස්තයක් විදිහට ජනතාව හිතපු දේ තමයි ක්‍රමයේ වෙනසක් ඇති කිරීම. ඒකට තමයි අපිට ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය කරලා තිබුනේ. කවුරු වෙනස් වුනත් වෙනස් නොවන වැඩපිළිවෙලක් සකස් කිරීමටයි අපට අවශ්‍ය වුනේ. පහුගිය අවුරුදු දෙකක කාලය තුලදී අපේ අමාත්‍යාංශය ඒ වැඩපිළිවෙල නිවැරදිව ඉටු කළා. 

අපි විගමනික ප්‍රතිපත්තිය සකස් කළා. ඒ වගේම කම්කරු ප්‍රතිපත්තිය ගැන යළිත් අවධානය යොමුකරලා සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම ආරක්ෂිත වැඩ පරිසයරයක් ඇති කිරීමට අදාල ප්‍රතිපත්තිය හදුන්වා දුන්නා. කම්කරු නීතිය වෙනස් කරන්නත් අපි සමත් වුනා. විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වෙනස් කරලා ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කරන්නත් අපට හැකියාව ලැබුනා’’

එමෙන්ම ඩිජිටල්කරණය කිරීමටත්, එමගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වගේම කම්කරු දෙපාර්තමේන්තුවත් ඩිජිටල්කරණය කිරීමටත් අමාත්‍යංශයට හැකියාව ලැබී ඇති බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.