Sunday, April 28, 2024
Follow Us
විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය

විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත් කිරීමේ හැකියාව සහිත ඩිජිටල්කරණ ක්‍රියාවලියකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් නුදුරේදීම එය ආරම්භ කරන අතර එමගින් විදේශ රැකියා ක්ෂේත්‍රය නව ලෝකයට ගැළපෙන පරිදි ඩිජිටල්කරණය කිරීමට මග පෑදෙනු ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (23) අවධාරණය කළේය.

විදේශගත ශ්‍රමිකයින් සඳහා දැනටමත් සිය පැමිණිලි සහ ගැටලු දැනුම් දීම සඳහා සේවය කරන රාජ්‍යයේ තානාපති කාර්යාලවල අංක දී තිබෙන නමුත්, තමන් කී ඩිජිටල්කරණ හඳුන්වා දීමත් සමග සමස්ත පද්ධතියම වෙනස් වන බව අමාත්‍යවරයා පැවසුවේ ‘ජයගමු ශ්‍රී ලංකා’ – මාතලේ පැවැති වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සමග පැවැත්වුණු සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී සහභාගි වූ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ

“කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සම්පූර්ණ පද්ධතිය ‘ඩිජිටලයිස්’ (ඩිජිටල්කරණය) කරන්න. එයින් තානාපති කාර්යාලයේ ඉඳලා, සේවකයින් බඳවාගැනීමේ සිට සියලු දේවල්වලට අදාළ පද්ධතියම වෙනස් වීමකට ලක් වෙනවා. මේ පද්ධතිය වඩා කාර්යක්ෂම බවට පත් වෙනවා. ඒ සමග සෑම ශ්‍රමිකයකුටම තමන්ගේ දුරකථනයේ ‘ඇප්’ එකක් තියෙනවා. ලොකූ දේවල් සඳහන් කිරීම අවශ්‍ය නෑ. සතුටු මූණක්, දුක මූණක්, ප්‍රශ්නයක්, බොත්තමක් එබීමට පමණයි තියෙන්නේ. එවිට තානාපති කාර්යාලයට, කොළඹ අපේ කාර්යාලයට අදාළ තැනැත්තා හෝ තැනැත්තියට ප්‍රශ්නයක් බවට පණිවුඩයක් ලැබෙනවා. ඒ අනුව අදාළ කෙනා සම්බන්ධ කරගන්න ක්‍රමයක් අපි හදාගෙන තියෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී අපි නිවැරදි දැනුවත් කිරීම් කරනවා. ඩිජිටල් පද්ධතිය තහවුරු වුණාම මේ ගොඩක් ප්‍රශ්න අඩු වෙයි. මීට අමතරව මේ අතර වෙන ගැටලුකාරී තත්ත්වයන් පවා වාර්තා කරගන්නට පුළුවන් වෙයි වැටුප් ලැබීමේ ඉඳලම. අද වැටුප නොලැබුණොත් එයට අදාළ සලකුණ දැම්මම අපේ කාර්යාලයත්, ඒජන්තවරයාත් දන්නවා වැටුප් ලැබිලා නෑ. කියලා. ඒ අනුව මේ සියල්ල සම්බන්ධීකරණය වෙන වැඩසටහනක් ලැබෙනවා.”