Friday, May 03, 2024
Follow Us
ප්‍රථම වරට ලංගමයට සේවක ව්‍යවස්ථාවක්

වසර හැට හයකට පසුව පුථම වරට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සේවක ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ පසුගියදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නාවලපිටිය ඩිපෝව නිරීක්ෂණයෙන් අනතුරුව  සේවකයින් සමග සුහද පිළිසදරකට එක් වෙමිණි. 

දුර ගමන් සේවා සඳහා හා පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් නොමැති බව මෙන්ම ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නොමැතිවීමේ ගැටලුවට මුහුණ දෙන බව ඔවුන් මෙහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගිය වසරේ ලාභ උපයා ඇති නිසා ඉදිරියේදී බස් 70ක් පමණ අලුතෙන් මිලදී ගැනීමේ හැකියාව ඇති බැවින් දුර ගමන් සේවා සඳහා නව බස් රථ තුනක් හා පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා බස් රථ තුනක් අලුත් වැඩියා කර ගැනීම සඳහා නව ඇන්ජින් තුනක් ලබාදීමට හැකි බව මෙහිදී පැවසීය.

“එමෙන්ම අවුරුදු 66කට පසුව ප්‍රථම වරට ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සේවක ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා. එමඟින් ආණ්ඩු මාරු වන විට තනතුරුවල හිටපු අය එලවා අලුතින් අය පුටුවල වාඩි වෙන යුගය නිමාවට පත්වන බව ද පැවසීය. තුන්දහක පමණ සේවක පිරිසක් තමුන්ට සුදුසු තනතුරක් නොමැතිව, සුදුසු උසස්වීම් ක්‍රමවේදයක් නොමැතිව සිටිනවා”. මසක් ඇතුළත ඒ ප්‍රශ්නද විසඳා සේවක හිඟයටද පිළියම් යෙදීමට  බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා සේවකයින් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු ජේ.එම්.පී.බී. දිසානායක, ඩිපෝ අධිකාරී අනුර ජයලත් මත්වරුන් ඇතුළු සේවකයින් එක්විය.