Monday, April 29, 2024
Follow Us
කතානායකවරයාගෙන් දැනුම්දීමක්

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් රජයේ විවිධ උසස් නිලතල හොබවන නිලධාරින් සම්බන්ධව කිසිදු පදනමකින් තොරව සහ තහවුරු කළ නොහැකි කරුණු මත තම පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් ඔවුන්ගේ රාජකාරි තීරණ සහ කටයුතු දෝෂ දර්ශනයට ලක් කරමින් මෙම උත්තරීතර සභාව තුළ විවිධ අවස්ථාවලදී විවේචනය කිරීමේ ප්‍රවණතාවයක් මෑතක සිට වර්ධනය වෙමින් පවතින බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) මන්ත්‍රීවරයන්ගේ අවධානයට යොමු කළේය. 

මෙලෙස බොහෝ අවස්ථාවලදී පදනම් විරහිතව සිදු කරනු ලබන එවැනි ප්‍රකාශ මඟින් එකී රාජ්‍ය නිලධාරින්ගේ කීර්තිනාමයට හා වෘත්තීය ගරුත්වයට හානි සිදුවන අතරම එවැනි ප්‍රකාශ සම්බන්ධව පිළිතුරු ලබාදීමේ අවකාශයක් ද එම නිලධාරින්ට නොමැති බැවින් ඔවුන්ට බලවත් අසාධාරණයක් සහ අධෛර්යමත් වීමක් සිදුවන බවද තමා නිරීක්ෂණය කොට ඇති බවද කථානායකවරයා පැවසීය.

තවද එවැනි ප්‍රකාශ සිදු කිරීම් සම්බන්ධයෙන් එම නිලධාරින් විසින් තමා වෙත තම දැඩි කනස්සල්ල පළ කරමින් ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමද කර ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරින් සම්බන්ධව විවේචන තිබේ නම්, එකී නිලධාරින් පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවා ඒ සම්බන්ධ කරුණු විමසීමට හා අවශ්‍ය පියවර ගැනීමට අවකාශය පවතින බැවින් එලෙස මෙම සභාව තුළදී පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඔවුන්ව දෝෂාරෝපණයට ලක් කිරීමෙන් වැළකී සිටින ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනාටම අවධාරණය කරන බවද කථානායකවරයා පැවසීය.

තවද, ස්ථාවර නියෝග 91(උ) හි විධිවිධාන අනුව එවැනි අපහාසාත්මක හෝ අනිසි ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට ද කටයුතු කරනු ලබන බවද කතානායකවරයා  වැඩිදුරටත් දැනුම් දුන්නේය.

නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මඟින් පැන නැගී ඇති ගැටලු පිළිබදව විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මඟින් පැන නැගී ඇති ගැටලු පිළිබදව ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස නීතීඥ පවිත්‍රා‍දේවී වන්නිආරච්චි මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් තමා විසින් පත් කරන ලද බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව,  මහින්ද අමරවීර,  කංචන විජේසේකර, නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, චමල් රාජපක්ෂ, සී. බී. රත්නායක, ඩලස් අලහප්පෙරුම, දිලිප් වෙදආරච්චි, බුද්ධික පතිරණ, හේෂා විතානගේ, සම්පත් අතුකෝරල, කරුණාදාස කොඩිතුවක්කු, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, ෂාන් විජයලාල් ද සිල්වා, ඉසුරු දොඩන්ගොඩ,  කිංස් නෙල්සන්, නිපුණ රණවක සහ වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාව සඳහා නම් කොට තිබේ.