Monday, April 29, 2024
Follow Us
මුතුකුමාරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

එස්. සී. මුතුකුමාරණ මහතා  නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර මැතිවරණ කොට්ඨාශයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ  උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ මහතා  මෙලෙස පත් කරනු ලැබීය.

1953 වර්ෂයේ උපත ලැබූ එස්.සී. මුතුකුමාරණ මහතා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු හදාරා ඇත. එස්.සී. මුතුකුමාරණ මහතා සිය දේශපාලන කටයුතු ආරම්භ කළේ 1977 දීය. 1991 වසරේදී කලාවැව ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ඒ මහතා 1993 සහ 1999 යන වසර වලදී උතුරු මැද පළාත් සභාවට ද තේරී පත් විය. කලාවැව කොට්ඨාස ශාඛාවේ (බල මණ්ඩලය) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ලෙසද ඒ මහතා කටයුතු කර ඇත. එමෙන්ම ඒ මහතා 2000 වසරේදී උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යධුරය ද දැරීය . 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හත්වැනි පාර්ලිමේන්තුවට ද තේරී පත්විය.