Sunday, April 28, 2024
Follow Us
ගොවි ජනතාවගෙන් ජල බද්දක් අයකිරීමට රජයේ කිසිදු  අපේක්ෂාවක් නැහැ- ඇමැතිනී පවිත්‍රා 

රටට බත සපයන  ගොවි ජනතාවගෙන් ජල බද්දක් අයකිරීමට රජයේ කිසිදු  අපේක්ෂාවක් නොමැති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  අවධාරණය  කරයි.

 

ඊයේ (29) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ දී  ගොවි සංවිධාන නියෝජිත හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ  රටේ ජල සම්පත සුරක්ෂිත කිරීම සඳහා ජල ප්‍රතිපත්තියක් සැකසීම කෙරෙහි  යෝජනාවක් පමණක්   ඉදිරිපත් වී ඇති බවයි.  එවැනි  ජල ප්‍රතිපත්තියක්  සකස් කිරීම  අද  හෙට සිදුවන්නක් නොවන බවත්, එය  සකස් කිරීමට  දීර්ඝ කාලයක් ගතවන අතරම, ඒ සඳහා විවිධ අංශ කෙරෙහි  අවධානය යොමු කරමින් සිදු  කළ  යුතු  ගැඹුරු ක්‍රියාවලියක් බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ  ක්ෂේත්‍රයේ  ගොවි ගැටලු  නිරාකරණය කිරීම සඳහා මෙම  රැස්වීම කැඳවා තිබුණ අතර මේ සඳහා අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ  වව්නියාව යන දිස්ත්‍රික්කවලට අයත්  ගොවි සංවිධාන නායකයෝ  සහභාගී වී සිටියහ.  

ගොවි සංවිධාන නියෝජිතයෙකු මෙහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් විමසා සිටියේ  ගොවි ජනතාවට ජල බද්දක් අයකිරීමේ සැලැස්මක්  තිබෙන බවට පවතින මතය සත්‍යයක් ද යන්න යි. ඊට  පිළිතුරු දෙමින්  අමාත්‍යවරිය පෙන්වා දුන්නේ ජල බද්දක්  පනවන බවට   ඇතැම්  දේශපාලන කණ්ඩායම්  ගොවි ජනතාව තුළ  බිල්ලෙක් මවාපාන බවයි.

ජලය බෙදා හැරීමේ දී  එය  මුලින්ම ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව  සඳහා නිකුත් කරන්නේ ද, විදුලි බලය  සඳහා  නිකුත් කරන්නේ ද, නොඑසේනම් කෘෂිකාර්මාන්තය සඳහා නිකුත් කරන්නේ ද යන්න  ප්‍රතිපත්තියක් සැකසීමේ  යෝජනාවක්  ඉදිරිපත් වී තිබෙනවා  මිස ජල බද්දක්  පැනවීමේ තීන්දුවකට රජය කිසිසේත්  එළඹ නොමැති  බවත් ඉදිරියේ දී ද එවැනි  තීරණය ක් රජය  නොගන්නා    බවත්   අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී   අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියාය.   

මෙම සාකච්ඡාවේ දී  ගොවි සංවිධාන නියෝජිතයින් විසින් වාරි ඇළ මාර්ග නඩත්තු කටයුතු, වන සතුන්ගෙන් සිදුවන වගා හානි, විදුලි  වැට ඉදිකිරීම් සහ  නඩත්තු කිරීම්, වී මිල, පොහොර සහනාධාර මුදල්  ප්‍රමාදවීම් ඇතුළු වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ  අංශයේ  ගැටලු සම්බන්ධයෙන්  පුළුල්ව සාකච්ඡා කෙරුණි.

විශේෂයෙන්  යාන් ඔය ව්‍යාපාරයෙන් ඉඩම් අහිමි වූ ජනතාවට වන්දි  ලබා දීමේදී ඇතිවී තිබෙන  ප්‍රමාදයන් සම්බන්ධයෙන්   මෙහිදී සාකච්ඡා වූ අතර,  එහිදී අමාත්‍යවරිය  සඳහන් කළේ තවදුරටත්   වන්දි මුදල් නොලැබුණු  ගොවි ජනතාවට  කඩිනමින් එම වන්දි මුදල්   ලබාදීම  සඳහා  අමාත්‍ය  මණ්ඩලයට  දැනටමත්  කැබිනට්  පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි. මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ  ඇතැම් වැව් රක්ෂිතවල පවතින  අනවසර ඉදිකිරීම් සහ  අත්පත් කර ගැනීම්  සම්බන්ධයෙන්  මෙහිදී දිගින් දිගටම  ගොවීන්ගෙන්  අදහස්  ඉදිපත් විය.     ඒ අනුව  දිවයිනේ සියලු  වැව් රක්ෂිත  සම්බන්ධයෙන්  සොයා බලා   පූර්ණ වාර්තාවක් කැඳවීමට  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරායට නියම කළා ය.