Friday, May 03, 2024
Follow Us
හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රමගේ පුත් අසංක පෙරේරා එජාපයට

හිටපු කැබිනට් ඇමැති ජයවික්‍රම පෙරේරා මහතාගේ පුතණුවන් වන සමගි ජන බලවේගයේ කටුගම්පොළ ආසනයේ ප්‍රධාන සංවිධායක අසංක පෙරේරා මහතා පසුගියදා යළි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

රට බංකොලොත්භාවයෙන් මුදා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යන ගමනට සහාය දැක්විය යුතු බැවින් යළි එජාපයට එක් වූ බව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා හමු වී පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු අසංක පෙරේරා මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළේය. අසංක පෙරේරා මහතාගේ පියාණන් වන හිටපු කැබිනට් ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එජාපයේ සභාපතිවරයෙක් ලෙස ද කටයුතු කළ අතර, වයඹ පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය.

අසංක පෙරේරා මහතා එජාපය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවේ සහ වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය. පසුව සමගි ජන බලවේගයට එක් වූ අසංක පෙරේරා මහතා යළිත් ජනාධිපතිවරයාට සහාය දක්වමින් එජාපය හා සම්බන්ධ විය.

මේ අවස්ථාවට එජාපයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහතා ද එක්ව සිටියේය.