Friday, May 03, 2024
Follow Us
හැටදාහක් මරා රට කොල්ලකෑ ජවිපෙ අමුල් ඉදිරියේ අද පූස් පැටවුන් වගේ -එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

හැටදාහක් පමණ ජනතාව ඝාතනය කරමින් රාජ්‍ය දේපළ විනාශ කරමින් රට බංකොලොත් කිරීමට ක්‍රියා කළ ජනතා විමුක්ති පෙරමුණ අද ඉන්දියාවේ අමුල් සමාගම ඉදිරියේ පූස් පැටවුන් මෙන් හැසිරෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

“රට අභාග්‍ය සම්පන්න මොහොතකට මුහුණ දුන්නේ එක්සත් ජාතික පක්ෂය බංකොලොත්භාවයකට පත්වුණු කාල පරිච්ඡේදයේදීයි. ලෝකයේ වෙන කිසිදු රාජ්‍යයක් මෙතරම් වේගයෙන් බංකොලොත් බවින් මිදුණේ නැහැ. ඒ නිසාම රනිල් වික්‍රමසිංහ නාමය ඉතිහාසගත වනවා. බංකොලොත්භාවයට පත්වුණු රාජ්‍යයක් එයින් මුදවාගෙන ඉක්මනින් ස්ථාවර කිරීම පිළිබඳව අප ලෝකයේ අනිත් රටවලට ආදර්ශයක් සපයනවා.

පසුගිය අයවැයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් දහදහසකින් වැඩි කිරීමට තීරණය කළා. රාජ්‍ය සේවකයන් ආසන්න වශයෙන් ලක්ෂ පහළොවක් ඉන්නවා. ඉතින් ඔබට තේරෙනවා රුපියල් දහදාහ ගණනේ ලක්ෂ පහළොවකට එම දීමනාව දෙන්න රජයේ කොතරම් වියදමක් පිරිවැයක් මේ මොහොතේ දරනවාද කියන කාරණය.සමෘද්ධියේදී ලැබුණේ පවුලකට රු. 4,500ක් පමණයි. ඒත් වර්තමානයේ පවුලකට එවැනි තුන් ගුණයක මුදලක් දීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අභියෝගය ජනාධිපතිවරයා භාර ගෙන ක්‍රියාත්මක කරමින් යනවා. කළමනාකරණය, හැකියාව, අවබෝධය තියෙන නායකයකු මේ රටේ බි හිවුණ නිසා තමයි මෙවැනි දෙයක් සිදු කරන්න හැකි වුණේ.

“ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඉන්දියාවට සහ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව කතා කළ, ඉන්දියාවේ ව්‍යාපාරිකයන් මේ රටට එනවාට විරුද්ධ වුණු දේශපාලන පක්ෂයක්. ඔවුන් ඒ වෙනුවෙන් කරන්න තියෙන විකාර ඔක්කොම කළා. එහෙම කරලා මෝදී මැතිතුමා ඉස්සරහා නෙමෙයි, අමුල් සමාගම ඉස්සරහා පුස් පැටව් වගේ ජනතා විමුක්ති පෙරමුණ දැන් හැසිරෙනවා. දැන් කියනවා ලෝකයේ අනිත් දේවල් වෙනස් වෙනකොට ජනතා විමුක්ති පෙරමුණත් වෙනස් වෙනවා කියලා. කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා කරගන්නවා වගේ ජවිපෙ තමන්ගේ ලජ්ජාව වහගන්න දැන් විවිධ ප්‍රකාශන නිකුත් කරමින් ඉන්නවා.

“ඒ වගේම සජබ නායකයා දිරච්ච පැළ ඉනි අරගෙන කඳවුරු බඳින්න හදන බව පේනවා. ඒ පක්ෂයේ අරටු ටික රනිල් වික්‍රමසිංහ මහත්මයා ගාවට එන්න පටන් අරගෙන තිබෙනවා. දේශපාලන පක්ෂයක් විදිහටම පක්ෂය ගෙනයන්න බැරි නිසා හමුදා කඳවුරක් විදිහට දැන් පරිවර්තනය කරලා තිබෙනවා. දයා සඳගිරි අරගෙන එක කඳවුරක්. අනිත් එක දයා රත්නායක ඇදගෙන තව කඳවුරක් හදන්න යනවා. එනිසා දිරච්ච වැටවල් බඳින්නැතුව නිවැරදිව ජනාධිපතිවරයාට සහාය දෙන්න ආවා නම් මේ ප්‍රශ්නය ඉවර වෙනවයි කියන එක අප සඳහන් කළ යුතුයි.”

Dinamina