Friday, May 03, 2024
Follow Us
මහාචාර්ය චරිත හේරත්ට සභාපති ධූරයක්
ශ්රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා පත් කෙරේ
 
ශ්රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී  (මහාචාර්ය) චරිත හේරත් මහතා පසුගියදා පත් කෙරිණි.

 

ශ්රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද පැවැත්විණි. මෙම රැස්වීමට ශ්රී ලංකාවේ ජර්මානු තානාපති ෆීලික්ස් නියුමන් (Felix Neumann) මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, අමාත්යවරුන්, රාජ්ය අමාත්යවරුන් පාර්ලිමේන්තු මන්ත්රීවරයන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන  සිවඥානම් ශ්රීතරන්, ගරු නිරෝෂන් පෙරේරා සහ  (ආචාර්ය) හරිණි අමරසූරිය යන මහත්ම මහත්මීන් මිත්රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් විය. පාර්ලිමේන්තු මන්ත්රී  (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා ලේකම් ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්රී  හර්ෂණ රාජකරුණා මහතා සහකාර ලේකම් ලෙසත් පත් කරන ලද අතර,  උදයන කිරින්දිගොඩ මහතා භාණ්ඩාගාරික ලෙස ද පත් කෙරිණි.
 
මෙහිදී අදහස් දැක්වූ කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රකාශ කළේ, ශ්රී ලංකාව සහ ජර්මනිය අතර වසර 70 වක වැඩි දීර්ඝ සබඳතාවයක් පවතින බව සහ මෙම මිත්රත්ව සංගමය පිහිටුවීම මගින් එම සබඳතාවය තවදුරටත් ශක්තිමත්වන බවයි.
 
මෙහිදී අදහස් දැක්වූ ශ්රී ලංකාවේ ජර්මානු තානාපති ෆීලික්ස් නියුමන් මහතා නව පත්වීම් ලැබූ නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක් කළ අතර දෙරට අතර පවතින සබඳතාවය විවිධ ක්ෂේත්ර ඔස්සේ වර්ධනය කර ගැනීම සදහා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ වැදගත්කම අවධාරණය කළේය.
 
මෙහිදී අදහස් දැක්වූ ශ්රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ අභිනව සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී  (මහාචාර්ය) චරිත හේරත් මහතා මිත්රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තමන්ව තෝරා පත්කිරීම පිළිබඳව ස්තූතිය පළ කළ අතර, මෙය ශ්රී ලංකාව සහ ජර්මනිය අතර පවතින සහයෝගීතාවය වැඩි දියුණු කිරීමට මගපාදනු ඇතැයි සඳහන් කළේය.