Friday, May 03, 2024
Follow Us
මැතිවරණවලට කෝටි 10ක් වෙන් කරයි

රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අය-වැය ඇස්තමේන්තු මඟින් මේ වසරේදී ජනාධිපතිවරණය හා මහමැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් (කෝටි 1,000ක්) වෙන් කර ඇතැයි කැබ්නට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදු වන බව හෙතෙම කීවේය. පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ, 2025 වසර සඳහා වන අය-වැය මඟින් ලබාදීමට සිදු වන බව ද ඇමැති මණ්ඩලය විසින් නිරීක්ෂණය කළ බව ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වුවද 2025 වර්ෂයේදී එකී මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම, 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය) ප්‍රකාරව ස්ථාපිත කරන ලද සහ අංක 2354/06 දරන 2023-10-16 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ මත පදනම්ව අවශ්‍ය වන්නේ නම්, අදාළ මැතිවරණ නීති සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බව ද ඇමැති මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගත් බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කීවේය.