Friday, May 03, 2024
Follow Us
කෙහෙළියගේ ඉල්ලා අස්වීම ජනපති භාර ගනී

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඊයේ (06) ඉල්ලා අස් වූ අතර අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාර ගනු ලැබීය.

පෙබරවාරි 03දා සිට ක්‍රියාත්මක වන පරිදි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට නිවේදනය කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පවරා ගෙන ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කිරීමට නියමිතය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 02 දා පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබූ අතර මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් මෙම 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.