Friday, May 03, 2024
Follow Us
ඔප්පුව සුළු කොට සලකන්න එපා - අගමැති

ජනතාවට ලබා දෙන ඔප්පුව සුළු කොට නොසලකන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

උරුමය වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10,000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමට අද (05) රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

" මාතලේ කැරැල්ලෙන් පසුව මෙරටට පැමිණි විදේශීය පාලකයන් අපේ ඉඩම් උදුර ගත්තා. අපේ ස්වයංපෝෂිත ආර්ථිකය එයින් කඩා වැටුණා. එයින් නැඟිටින ගමනකට අපේ රටේ නිදහස් සටන් භූමිය පෙරමුණ ගත්තා. මේ උදාවී තිබෙන්නේ එවැනි අභියෝගාත්මක උරුමයක් දිනා ගැනීමේ සටනෙන් පටන් ගත් උරුමය යළිත් ලක්ෂ විස්සක ජනතාවට ලබාදීමේ අවස්ථාවයි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාගේ අරමුණු සාක්ෂාත් කිරීමට එක් වුණු ඉඩම් අමාත්‍යවරයා ඇතුළු සියලු නිලධාරීන් මහඟු කර්තව්‍යක් ඉටුකළා.

දඹුලු පුරවරයේ ඓතිහාසික බව ඉතිහාසයට පමණක් නොව ලොවට අසමසම ලෙස කියාපාන්නට පුළුවන්. දඹුල්ල, සීගිරිය වැනි කේන්ද්‍රවලින් පෝෂණය වූ මෙම භූමිය අද මෙම වැඩසටහන ආරම්භ කිරීමට තෝරාගැනීමෙන් යළිත් සිහිපත් කරන්නේ අපේ ඒ උරුමයයි. දේශයේ අභිමානයයි.

රට පුරා ජනතාව ආහාර හිඟයෙන් පෙළුණු මොහොතක ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් හා මැදිහත්වීමෙන් ‌ගොවි ජනතාව යළි මේ රට ස්වයංපෝෂිත කිරීමට දායක වුණා.

රජයේ ඉඩම් ලබාදී ඔබගෙන් බලාපොරොත්තු වන්නේ ඒ උත්තුංග කර්තව්‍ය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමටයි. ඒ වෙනුවෙන් කැපවීම ඔබ සියලුදෙනාගේ වගකීමයි."