2024 වසර මැතිවරණ වසරක් නිසා මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදානම පිළිබඳව මේ මස 08 වැනිදාට යෙදෙන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ උපන්දිනය දවසේදී හෙළි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
හිටපු ජනපති මේ බව පැවැසුවේ පසුගියදා (03) නව වසර වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී වැඩ අරඹමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති මෙලෙස ද කීවේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව 08 වැනිදා රැස්වෙනවා. එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. රටේ පවතින අර්බුද කිසිදු තනි දේශපාලන පක්ෂයකට විසඳිය නොහැකියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දශක හතකට අධික කාලයක් අභියෝග මධ්‍යයයේ තමයි ඉදිරියට ඇවිත් තිබෙන්නේ. පක්ෂ නායකයා ඝාතනයේ සිට බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, 1977න් පසුව පක්ෂය දෙකට තුනට කැඩීම වැනි අභියෝගවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවස්ථා ගණනාවකදී මුහුණදී තිබෙනවා. අද වන විට ආරවුලක් නැති දේශපාලන පක්ෂයක් නැති තරම්. පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම කෙනෙක්ම ආණ්ඩු කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න හැම දේශපාලන පක්ෂයකම නියෝජිතයන් විවිධ අවස්ථාවලදී ආණ්ඩු කර තිබෙනවා. මේ වසර මැතිවරණ වසරක්. මේ වසරේ පවත්වන මැතිවරණ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ශක්තිමත් සූදානමක් තිබෙනවා. මේ මස 08 වැනිදා බණ්ඩාරනායක මහතාගේ උපන්දිනය දවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව රැස් කිරීමට නියමිතයි. එහිදී මැතිවරණ ව්‍යාපාරයට අපගේ සූදානම ඇතුළු අපගේ වැඩපිළිවෙළ පැහැදිලි කරනවා. අපට වගේම විශේෂයෙන්ම ආණ්ඩුවටත්, දේශපාලන පක්ෂවලටත්, දේශපාලන නායකයන්ටත් නින්දා අපහාස කිරීම සාමාන්‍ය දෙයක්. එය රට තුළ වැරදි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කිරීමක්.
කෙසේ වෙතත් අද රට පත්ව තිබෙන අර්බුදයේ වගකීම භාර ගන්නේ කවුද කියන ප්‍රශ්නය තිබෙනවා. කොහොම වුණත් කිසිම දේශපාලන පක්ෂයකට මෙහි වගකීම තනිවම භාර ගන්න බෑ. රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ දාන්න කිසිම දේශපාලන පක්ෂකට බෑ. හිටපු ජනාධිපතිවරයෙක් ලෙස අන්තර්ජාතික තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් මට තිබෙනවා. පැහැදිලි අවබෝධය තුළ මේ අර්බුද ජය ගත හැකි ශක්තිමත් සන්ධානයක් බිහි විය යුතුයි. තනි දේශපාලන පක්ෂයකට මේ කටයුතු කළ නොහැකියි. මේ රටේ ආර්ථිකය, දුප්පත්කම, දිළිඳු බව ඒවා තමයි මේ මොහොතේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය. දරුවෝ පාසලට යවන්න පුළුවන්ද යන ප්‍රශ්නය ජනතාවට තිබෙනවා. දරුවන්ට පොත් ටික ගන්න, බස් ගාස්තු දෙන්න ජනතාවට සල්ලි නෑ. තුන්වේල කන්න දෙන්න විදිහක් නෑ. මේවාට ප්‍රමුඛත්වය දී විසඳුම් දිය යුතුයි. වැඩ කරන ජනතාවගේ මේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ගොවියා, කම්කරුවා, ධීවරයා ආදී වශයෙන් වූ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.”
Dinamina