Thursday, August 28, 2025
Follow Us
 දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධාරීන්ට සහන 

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත් කිරීම යෝග්‍ය බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත. 

ඒ අනුව, එම අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කර ඇති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව ලැබී තිබේ.

 එම  කමිටුවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි කටයුතු කිරීමට   අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 

(i) ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන බල ප්‍රදේශයෙන් පිටත සේවා ස්ථානයක් වෙත ස්ථාන මාරු කිරීම හේතුවෙන් දුෂ්කරතාවයට පත් දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු ඒ සම්බන්ධව අභියාචනය කරන්නේ නම් ආයතන ප්‍රධානීන් විසින් ඒ පිළිබඳව සලකා බලා අදාළ සේවා ස්ථානයේ දේශපාලන කාර්යයන්වල හෝ දේශපාලන ප්‍රචාරණ, ප්‍රවර්ධන කාර්යයන්වල හෝ නිරත නොවෙමින් කටයුතු කරන බවට එම නිලධරයන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව නිලධරයන්ගේ ස්ථිර සේවා ස්ථානයට වාර්තා කිරීමට ඉඩ සලසා දීම.

(ii) 2023-04-25 දින සිට 2023-05-08 දින තෙක් කාලය වැටුප් සහිත නිවාඩු සේ සලකමින් මූලික වැටුප ගෙවීම.

(iii) 2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දී ඇති නිලධරයන් 2023-05-08 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 07/2023 අනුව අනිවාර්යෙන් සේවයට වාර්තා කරන ලෙස නියම කිරීම.

(iv) ඒ අනුව, දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන්ගේ ගැටලු විසඳීම සඳහා ඉහත කරුණු ඇතුළත්ව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීම.