Monday, December 04, 2023
Follow Us
ජනපතිගේ වැඩපිළිවෙළින් ආර්ථිකය සුරක්ෂිතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ මඟින් රට නැවත රටේ ආර්ථිකය සුරක්ෂිත වූ විට ජනතාව රවටන දේශපාලනය කිරීමට විපක්ෂයට ඉඩක් නොලැබෙන නිසා විපක්ෂය නොයෙක් කතා කියමින් ජනතාව මුළා කිරීමට උත්සාහ දරන බව එජාපයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (16) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී කාරියවසම් මහතා මෙසේ ද කීය.

මේ රටේ විපක්ෂය සහ දේශපාලන ලෙස බංකොලොත් වූ පුද්ගලයන් මේ රට ගොඩගැනීමට උදව් නොකර තම පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරමින් සමාජයේ පතුරන වැරදි ප්‍රචාර ඉවත් කරන්න අප කල්පනා කළා. පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් මේ අය වැය ගැන චෝදනා මුඛයෙන් කතා කරනවා අප දැක්කා. විශාල අමාරු කාලෙකට මුහුණ දී තිබෙන යුගයක අප ජීවත් වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සහ විවිධ පුරෝකතන දී තිබියදී ජනාධිපතිවරයා හැම දෙයක්ම සලකා බලා සාධාරණ විදිහට ජනතා හිතවාදීව මේ අය වැය ඉදිරිපත් කළා.

මේ රටේ මිලියන 22ක ජනතාවක් ජීවත් වෙනවා. ජීවන වියදම ඉහළයෑම වැනි කරුණුත් එක්ක මේ රටේ සියලුම දෙනාට ඉතා අමාරු තත්ත්වයක් උදා වෙලා තිබෙන බව පිළිගත යුතුයි. එදා ලබා දුන්නු සමෘද්ධිය වෙනුවට අස්වැසුම යෝජනා ක්‍රමයෙන් පවුල් ලක්ෂ 18කට, මේ වසරේ සිට අස්වැසුම ලබාදීම සිදු වෙනවා. එදා සමෘද්ධියට වෙන් කළේ බිලියන 60යි. බිලියන 183ක් අස්වැසුම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ වගේම සමෘද්ධියට දුන්න රුපියල් 2500 වගේ නෙමෙයි.’ අපි රුපියල් පහළොස් දාහක් දෙනවා. ඉතාම අඩු ආදායම් ලබන අයට රුපියල් 15000ක්, ඊළඟ අයට රුපියල් 10000ක් සහ ඊළඟ කණ්ඩායමට රුපියල් 5000ක් ලෙස දෙනවා. නොලැබුණු අයට අභියාචනා ඉදිරිපත් කරන්නත් අවස්ථාව හිමියි. ඒ ප්‍රතිඵල මත ඔවුන්ටත් ලැබීමට නියමිතයි. රාජ්‍ය සේවකයන් ලක්ෂ 13ක් ඉන්නවා. ඔවුන්ට රුපියල් දහදාහක් වැටුප් දීමනා වැඩි කර තිබෙනවා. 2015 දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස රුපියල් 10,000කින් මාසික දීමනා වැඩි කළා. මෙවරත් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000කින් ජීවන වියදම් දීමනාව වැඩි කර තිබෙනවා. ලක්ෂ 18කට අස්වැසුම ලැබෙනවා. රාජ්‍ය සේවකයින් ලක්ෂ 13කට රුපියල් 10,000කින් වැටුප් වැඩි වෙනවා. ඒ වගේම දුබලතා අයට සහ වැඩිහිටි දීමනා වැඩි වී තිබෙනවා.ඒ වගේම රටේ ගොවිතැන් කරන්න පොහොර නොමිලේ ලබාදීම සිදු වෙනවා.

රජයේ නිවාස කුලී ගෙවල්වල ඉන්න ලක්ෂ ගණනකගේ කුලිය නැති කර ඔවුන්ට සින්නක්කර අයිතිය ලබා දීමට යෝජනා වී තිබෙනවා. ඉඩම් අයිතිය ලබා දෙන්නත් මේ අයවැය මඟින් කටයුතු කර තිබෙනවා.

මා අධ්‍යාපන ඇමැති කාලේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ, සුරක්ෂා රක්ෂණය නැවත ලබාදීමට තීරණය කර තිබීම වැදගත් කාරණයක්.දරුවන්ගේ සෞඛ්‍ය වියදම ආණ්ඩුව භාර ගැනීමත්, පාසල් හා පෞද්ගලික යන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාසල් ලක්ෂ 45ක සියලු දෙනාම මෙයින් ආවරණය වෙනවා.

ජනතාවට සහන දුන්නේ 2001 සහ 2015 ආණ්ඩුයි. අද පෝලිම් නෑ. මිනිස්සු මැරිලා පාරේ වැටෙන්නේ නැහැ. කිසිම නායකයකුට විකල්ප පිළිතුරක්, වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි කිව්වේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යා යුතුයි කියලා. ඔහුට මඩ ගසමින්, විවේචනය කරමින් කරන දේවල්වල විපාක විඳින්න වෙන්නේ යම් කිසි දවසක අහිංසක ජනතාවටයි. කාට හරි පුළුවන්නම් අවුරුද්දක් බලය දීලා බලන්න. මේ රට සෝමාලියාව වෙලා නවතින්නේ. අත්දැකීම් සහ පරිණතභාවය තුළ ජනාධිපතිවරයා නිවැරදි පරිදි රට ඉදිරියට අරගෙන යනවා. අපේ රට විතරක් නෙමෙයි. වෙනත් රටවල් ද මෙවැනි ආර්ථික පරිහානියට ලක් වුණා. ඉන්දියාවත් මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්නා. නමුත් ඉන්දියාවේ නායකයන් ඉතාම බුද්ධිමත්ව කටයුතු කර අද වන විට ඉන්දියාව හොඳ තැනකට ගෙනත් තිබෙනවා.