මෙරට දූෂණය නැවැත්වීම සදහා ස්ථාපිත ප්‍රධානතම ආයතනයේ ප්‍රධානියාගේ තනතුර සුවිශේෂි බැවින් එහි ගෞරවය සහ වටිනාකමට ගැළපෙන පරිදි අදාළ වැටුප් පරිමාණය වඩාත් ශක්තිමත් විය යුතුයි - නැවත සළකා බලා කැබිනට් අනුමැතිය නැවත ලබා ගන්නා ලෙස මුදල් කාරක සභාවෙන් නිර්දේශ
පාර්ලිමේන්තුව මගින් සම්මත කළ දූෂණ විරෝධි පනත යටතේ ස්ථාපිත වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප් පරිමාණය වඩාත් ශක්තිමත් විය යුතු බැවින් දැනට යෝජනා කර ඇති වැටුප් පරිමාණය නැවත සළකා බලා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලෙස මුදල් කාරක සභාව විසින් ඊයේ (16) නිර්දේශ කරන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා, අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු සාමාජිකයන්ගේ වැටුප් සහ දීමනාවලට අදාළ යෝජනාව අනුමැතිය සදහා ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබද කාරක සභාවට ඊයේ (16) යොමු කර තිබූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා විය.
මෙරට දූෂණය නැවැත්වීම සදහා පත්කරන ප්‍රධානතම ස්වාධීන ආයතනයේ ප්‍රධානියාගේ තනතුර සුවිශේෂි තනතුරක් බවත් එහි ගෞරවය සහ වටිනාකමට ගැළපෙන පරිදි අදාළ වැටුප් පරිමාණය වඩාත් ශක්තිමත් විය යුතු බවත් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
මෙහිදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටියේ අධිකරණ සේවයේ පවතින වැටුප් තල සලකා බලා අභියානාධිකරණ විනිසුරු වැටුප් තල හා සමානව මෙම වැටුප් යෝජනා කළ බවයි. එසේම මෙම වැටුප් පරිමාණය තීරණය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.
අනෙකුත් කොමිෂන් සභාවල සභාපතිවරුන්ට අමතර ආදායම් මාර්ග හා සම්බන්ධ වීමට හැකියාව තිබුණද මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයාට එවැනි අවසරයක්ද නොමැති බවද හෙළිවිය. එබැවින් තනතුරෙහි ගෞරවය සුරැකෙන පරිදි මෙම වැටුප් පරිමාණය ඉහළ තලයකට ගෙන ඒමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
මෙම කාරක සභාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, වෛද්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, ආචාර්ය නාලක ගොඩහේවා, එම් ඒ සුමන්තිරන්, වජිර අබේවර්ධන, නිමල් ලාන්සා, කාවින්ද ජයවර්ධන, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, මේජර් ප්‍රදීප් උදුගොඩ, සහන් ප්‍රදීප් විතාන, මධුර විතානගේ යන මහත්මීහු සහභාගී වූහ.