Sunday, September 07, 2025
Follow Us
2023 අය වැයෙන් ජාතික ආර්ථිකය ඉහළට ඔසවා තිබෙනවා- මුදල් රාජ්‍ය ඇමැති

පසුගිය 2023 වසරේ අය වැය යෝජනා තුළින් ජාතික ආර්ථිකය ඉහළට ඔසවා ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ, පසුගිය වසරේ අය වැය යෝජනාවල ප්‍රගතිය සම්බන්ධයෙන් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

2023 අය වැය යෝජනාවල ප්‍රගතිය විමසීම සඳහා විපක්ෂ නායක කාර්යාලය විසින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම ප්‍රශ්නය යොමු කළේය.

2024 අය වැය යෝජනා සම්බන්ධයෙන් විශ්වාසයක් තැබීමට නම් පසුගිය වසරේ අය වැයවල ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.

2023 වසර ඇරඹීමේදීම රට මුහුණ දුන් අර්බුදකාරී ආර්ථික තත්ත්වයෙන් මිදීමට හැකි වී ඇති බවත් ආර්ථික දත්ත පිළිබඳ අවධානය යොමු කිරීමෙන් මේ පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කර ගත හැකියි.

2022 වර්ෂයේ සිවුවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 12.4කි. නමුත් 2023 වසරේ තුන්වන කාර්තුව වන විට ආර්ථික වර්ධන වේගය සෘණ 3.1ට අඩු වී තිබෙනවා. 2023 සිවු වන කාර්තුව පිළිබඳ මේ වන තුරු නිෂ්චිත ගණනය කිරීමක් සිදුකර නොමැති වුවත් එය ධන අගයක් ගනු ඇතැයි විශ්වාස කරනවා.

2022 වසරේ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1898කි. නමුත් 2023 වසරේ සැප්තැම්බර් මාසය වන විට එය ඩොලර් මිලියන 3500 දක්වා වර්ධනය වී තිබේ. 2023 වර්ෂයේ උද්ධමන වේගය සියයට 51.7ක්. 2023 සැප්තැම්බර් වන විට එය සියයට 1.3ක්. උද්ධමන වේගය මාස 9ක් තුළ මෙලෙස අඩු වීමට අය වැය ලේඛනයේ ධනාත්මක කරුණු බලපා තිබෙනවා.

බැංකු ණය පොලී අනුපාතය, ප්‍රාථමික ගිණුම් ශේෂය පහළ ගොස් ඇති බවත් රාජ්‍ය ආදායම සහ බදු ආදායම වර්ධනය වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. මෙම සියලු ධනාත්මක කරුණුවල අයිතිය 2023 අය වැය යෝජනාවන්ට හිමි වෙනවා.

පසුගිය වසරේ අය වැය යෝජනාවන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් වොරයිටි රිසර්ච් ආයතනය මඟින් පෙන්වන තාක්ෂණ කරුණු පිළිබඳ ඉදිරියේදී තවත් විස්තර ලබා දෙනවා.