Monday, September 08, 2025
Follow Us
පොහො­ට්ටුවේ දෙවැනි ජාතික මහ සමු­ළුව දෙසැ. 15 කොළ­ඹදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය එළඹෙන දෙසැම්බර් මස 15 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මේ ජාතික මහා සම්මේලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේත් පාක්ෂික මැති ඇමතිවරුන්, සියලු පක්ෂ සහෝදර නායකයන්, පක්ෂ සාමාජිකයන් ඇතුළු සියලු පිරිස ඒකාබද්ධ කරගනිමින් පැවැත්වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව ඇති සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සඳහාද මේ සම්මේලනයට සහභාගි වීමට ආරාධනා කර තිබෙන අතර එම සම්මේලනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙදින පැවැත්වෙන සම්මේලනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

අභියෝග රාශියක් මැද බිහි වන මේ දැවැන්ත පක්ෂය පසුගිය වසර කිහිපය තුළ විවිධ අභියෝග රාශියකට මුහුණ දෙමින් ඒ අභියෝග ජය ගෙන ඉදිරියට පැමිණ ඇති බවත්, එවකට මේ පක්ෂය නිර්මාණය කිරීමේදී පැවති ආණ්ඩුවල නායකයන් විසින් එල්ල කරන ලද චෝදනාවලට කිසි විටෙක නොසැලී ඉදිරියට ආ බවත් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

මේ පක්ෂය නිර්මාණය කර කෙටි කලකින් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිවකුට සිදු කළ නොහැකි වූ දැවැන්තම මැයි දින රැලිය පැවැත්වීමට හැකි වූ බවත්, මේ පක්ෂය විසින් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්ව පළාත් පාලන මැතිවරණය මඟින් 85%ක ජයග්‍රහණයක් අත් කරගැනීමට හැකි වූ බවත් සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි. ජාතික මැතිවරණය වූ ජනාධිපතිවරණයටද මෙම පක්ෂයෙන් අපේක්ෂකයෙන් ඉදිරිපත් වූ අතර ඊට පක්ෂයේ එකඟතාව මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරමින් 69 ලක්ෂයක් වූ ශ්‍රී ලාංකික ජනතාවගේ ඡන්දයෙන් ඉතිහාසගත වාර්තාවක් තබමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට හැකි වූ බවත් ඔහු සිහිපත් කරයි.

වෙනත් කිසිදු පක්ෂයක නැති අනුබද්ධ සංවිධාන 30කට ආසන්නව අනුබද්ධව තිබෙන මේ පක්ෂය මඟින් කොට්ඨාස, ග්‍රාමීය, මන්ත්‍රී කොට්ඨාස, ග්‍රාමසේවා වසම්, ආසන හා දිස්ත්‍රික් මට්ටමින් ජාතික වැඩපිළිවෙළක් මෙරට තුළ ක්‍රියාත්මක කරවීමට හැකිව තිබේ. ඒ අනුව, ඉදිරි වසර පහ තුළදීත් පක්ෂය ඉතා හොඳින් ශක්තිමත් කරමින් පාක්ෂිකයන් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට දෙන ශක්තියත් එකතු කරගනිමින් නව පාක්ෂිකයන් එක් කරගනිමින් රජයත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගමන් කරන පක්ෂයක් බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 

Dinamina