Monday, September 08, 2025
Follow Us
රාජ්‍ය සේවය විධිමත් කිරීමෙන් ව්‍යාපාරික හිතකාමී පරිසරයක් 

ව්‍යාපාරික හිතකාමී පරිසරයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය විධිමත් කිරීම පිළිබඳව යෝජිත  ව්‍යාපාර සූදානම් (B - Ready) දර්ශකය, සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රයෝගික ගැටලු   හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ  ඉදිරිපත් කිරීමටත්  පාර්ලිමේන්තු  විශේෂ  කාරක සභාවේදී අවධානය යොමු විය.

ඒ මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ)  මධුර විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ)  මධුර විතානගේ මහතා පෙන්වා දුන්නේ රටේ ව්‍යාපාර  වැඩිදියුණු කිරීමට සහ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් මෙරට තුළ ඇති කළ යුතු බවයි. මෙහිදී ඒ ඒ ආයතන අතර සම්බන්ධතාවය සහ තොරතුරු හුවමාරු කර ගැනීම ශක්තිමත් තත්ත්වයක පැවතීම වැදගත් වන බව ඒ මහතා පෙන්වා දුන් අතර එවැනි සම්බන්ධතාවයක් මෙරට රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතන අතර නොපවතින බව මෙම කමිටුවට නිරීක්ෂණය වූ බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම රාජ්‍ය අංශය තුළ නිලධාරීවාදය ඉස්මතුවන ආකාරයක් පෙනන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.  මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මැනුවල් ක්‍රම හොදින් දියුණු කිරීම ද රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතාව සඳහා ඉතා වැදගත් වන බවයි. මෙහිදී “Citizen Charter Concept” ක්‍රමයක් සකස් කිරීම වැදගත් වන බවද එම නිලධාරීන් පෙන්වා දුන්නේය. එසේම ව්‍යාපාර කරගෙන යාම සම්බන්ධයෙන් ජනතාවගේ දැනුම අල්ප බවත් එම දැනුම වැඩි කළ යුතු බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේය.

රටේ ව්‍යාපාර සක්‍රීය තත්ත්වයෙන් වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධිතව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉඩම් මැනීමේ හැකියාව පිළිබඳව ද කාරක සභාවේ  අවධානය යොමු විය. මෙහිදී සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු කණ්ඩායමක් විසින් සකස් කළ ඩ්‍රෝන තාක්ෂණය මගින් ඉඩම් මැනීම් සිදු කරන ක්‍රමය සහ බණ්ඩාරවෙල නගරසභා බල ප්‍රදේශය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස එහි සාර්ථක බව පිළිබඳව ද කමිටුවට පෙන්වා දෙන ලදි. 

විශේෂයෙන්ම මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ව්‍යාපාර පහසු කිරීම වෙනුවෙන් ඉඩම් මැනුම් කටයුතු ඉක්මන් කරමින් “බිම් සවිය” ව්‍යාපෘතිය කඩිනම් කිරීම ඉතා වැදගත් බවයි.  විශේෂයෙන්ම මූල්‍ය ප්‍රතිපාදන හිඟකම, ජනතාවගේ අවිශ්වාසය මත සහයෝගයක් නොලැබීම ආදී හේතු මත ඉඩම් මැණුම් කටයුතු සිදු කිරීමට අපහසු තත්ත්වයක් ඇතිවී තිබෙන බව ද භූ ගෝලීය තත්ත්වයන් නොසලකමින් ඉදිකිරීම් සිදු කර ඇති බවද මෙහිදී කමිටුව වැඩිදුරටත් පෙන්වා දෙන ලදි. 

මෙහිදී අවසාන වශයෙන් කාරක සභාවේ සභාපති මධුර විතානගේ මහතා පෙන්වා දුන්නේ සෑම අංශයක් සම්බන්ධයෙන්ම නිවැරදි තොරතුරු පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි පවත්වාගෙන යාම වැදගත් වන බවත් නිවැරදි තොරතුරු නොමැති නම් ආයෝජකයන් මෙරටට නොපැමිණෙන බවත්ය.