Monday, September 08, 2025
Follow Us
සංවර්ධන ව්‍යාපෘතිවලට ආධාර ලැබෙන විදිය ඇමැති බන්දුල කියයි

ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදු නොකර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට විදේශ ණය ආධාර නොලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසීය.

ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ණය මෙතෙක් ප්‍රතිව්‍යූහගතකරණය කර නොමැති බවත් ඉදිරි සති දෙක තුළ ණය ප්‍රතිව්‍යූහගතකරණයට රජය කටයුතු කරන අතර එසේ නොවුණහොත් කිසිදු මුදලක් ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් හෝ වෙනත් අරමුදලකින් නොලැබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

විදේශ ණය ආධාර අනුව මෙරට සංවර්ධන ව්‍යාපෘති සිදු කරන බවත් විදේශාධාර නොලැබුණහොත් කුමන ආකාරයේ සැලසුම් ක්‍රියාත්මක කළ ද සංවර්ධන ව්‍යාපෘති ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය නොහැකි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

දුම්රිය මාර්ග හා මහාමාර්ග නාය යාමේ අවධානමක් තිබුණත් ඒවා සකස් කිරීමට කොතරම් සැලසුම් කළත් විදේශ ණය ආධාර නොලැබුණහොත් ඒවාද සිදු කළ නොහැකි යැයි ද ඇමැතිවරයා පැවසීය.