Tuesday, September 09, 2025
Follow Us
ස්වාධීන අධිකරණ පද්ධතියක් වෙනුවෙන් පනත් කෙටුම්පත්

ස්වාධීනව කටයුතු කරගෙන යා හැකි අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණෙන් අධිකරණ ව්‍යුහයට සම්බන්ධ පනත් කෙටුම්පත් සම්මත කිරීම සිදු කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

මෙය කාලයක් තිස්සේ සාකච්ඡාවට ලක් වූ පනත් කෙටුම්පතක්.

“අපේ රටේ මුහුදු සීමාවේ, වසරකට නැව් 35,000ක් පමණ යාත්‍රා කරනවා. එලෙස යාත්‍රා කරන සෑම නෞකාවක්ම අපේ රටේ මුහුදු සීමාව භාවිත කිරීමේදී ගාස්තුවක් ගෙවිය යුතුයි. එය ජාත්‍යන්තර මුහුදේ පිළිගත් නීතියක්. අපේ රටේ මුහුදු සීමාව පසු කර යද්දී මුහුදු සීමාව සලකුණු කළ සිතියම් 17ක් පසුකරගෙන යන්න ඕන. එවිට මුහුදේ මැප් එක මිල දී ගන්න ඕන. මෙම සිතියම් විකුණන්නේ ඩිජිටල් ක්‍රමයට. එකක් ඩොලර් 25යි. එම සිතියම් අපි නිර්මාණය කළ යුතුයි. මෙම සිතියම් හදල විකිණීමේ කාර්ය භාර දී තිබෙන්නේ නාරා ආයතනයට. දැන් වසර 33ක් ගිහිල්ලත් නාරා ආයතනය මෙම සිතියම් සකසා නැහැ. මෙම සිතියම් හදල විකුණන්නේ විදෙස් සමාගමකින්. මෙම මුදල් යන්නේ එම විදෙස් සමාගම්වලට. අපි මේ සම්බන්ධයෙන් නාරා ආයතනයෙන් ප්‍රශ්න කළා. එම ආයතනයට වෘත්තීය සුදුසුකම් තිබෙන අය නැහැ. අනෙක් අතින් එම තාක්ෂණය නැහැ. අපි අමාත්‍ය අනුකමිටුවක් පත් කරලා මේ පිළිබඳව අධ්‍යයනය කළා. අපි අද දූෂණය ගැන කතා කළා. මේවත් දූෂණ තමයි. මේ සම්බන්ධයෙන් අපි නව පනත් කෙටුම්පතක් හැදුවා. අපි හැදුවේ නව ජල ශාස්ත්‍රීය කාර්යාලයක් හදන්න. නාරා ආයතනය දන්නව මෙයින් අලාභයක් සිදු වන බව. සෘජු අලාභ වගේම රටක් වශයෙන් වක්‍ර අලාභයකුත් මින් සිදු වෙනවා. මෙම සිතියම් ලබා ගද්දි විදෙස් නැව් සමාගම් බලනව එම සිතියමේ කාලසීමාව. නැව්වලට රක්ෂණ වාරිකය ගෙවද්දි එම සිතියම ඇන්ද කාල සීමාව බලනව. මුහුදු පතුලේ යම් යම් වෙනස්කම් සිදු වී තිබෙනවාද කියා බලනවා. පරණ සිතියමක් නම් බොහෝ විට එම රක්ෂණ වාරිකය වැඩි කරනවා. ලංකාවට බඩු ගෙනෙන සමාගමක් නම් එම රක්ෂණ වාරිකය සඳහා වැඩිපුර ගෙවන මුදල පාරිභෝගිකයාගේ භාණ්ඩවලට තමයි එකතු වෙන්නේ. මුළු රටේම ආර්ථිකයට බලපාන කාරණයක්. නමුත් නාරා ආයතනය චෝදනා කරනවා මෙය ඔවුන්ගෙන් අරගෙන නාවික හමුදාවට දෙන්න යනවා කියලා. නමුත් වසරකට රුපියල් බිලියන 65ක් විතර පාඩු සිදු වෙනවා නම් මොකක්ද අපි කරන්න ඕන. ඒ නිසා නව පනතක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම පනතට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නැහැ.”