Tuesday, September 09, 2025
Follow Us
විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්

පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සක්‍රීයව සම්බන්ධ කර ගැනීමේ විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් අග්‍රාමාත්‍ය  දිනේශ් ගුණවර්ධන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පැවැත්විණි. 

පාර්ලිමේන්තුව සහ රාජ්‍ය නිලධාරීන් සමඟ මෙරට ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධවීමේ අවස්ථාව මහජනතාවට ඉදිරියේදී තවදුරටත් පුළුල් වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ මහතා මෙහිදී  පැවසීය. ආංශික අධීක්ෂණ කාරක සභා හරහා දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් සමග විවිධ දේශපාලන අදහස් දරන තරුණ ‍කොටස් ඇතුළු මහජනතාවට සම්බන්ධ වීමට අවස්ථාව හිමිවී ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. 

පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් පනත් සම්පාදනය ඇතුළු කටයුතු සිදු වුව ද ඒවා  මාධ්‍ය හරහා ජනගත නොවීම නිසා දේශපාලඥයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව ද ඒ මහතා ‍පෙන්වා දුන්නේය. 

දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව මහජන නියෝජිතයන් ඇතුළු  මහජනතාව   විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සදහා වන පාර්ලිමේන්තු සංසදය සමග සම්බන්ධ වෙමින් කටයුතු කිරීම සතුටට කාරණයක් බව ද ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද මෙහිදී එම කාරක සභාවේ සභාපති මයන්ත දිසානායක මහතා ‍පැවසීය. 

සිවිල් සංවිධාන 13 ක් ඇතුළු පාර්ශ්වයන්ගේ සහයෝගීත්වයෙන් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවට මෙන්ම විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය සමග ජනතාව අත්වැල් බැදගනිමින් සිටින බවත් සභාපතිවරයා පැවසීය.  මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සභාපතිවරයා අවධාරණය කළේය.

මෙම සංසදයේ හිටපු සභාපති සහ හිටපු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අදහස් දක්වමින් මෙහිදී පෙන්වා දුන්නේ මැතිවරණයකින් පසු පාර්ලිමේන්තුවේ 225 දෙනාට පාලනය බාරදී බලා නොසිට පාර්ලිමේන්තුව හා සහ සම්බන්ධවෙමින් කටයුතු කිරීම අවශ්‍ය බවයි. ඉන්දියාව වැනි රටක් ‍ඒ සදහා හොඳ උදාහණයක් බවත් ඒ මහතා පැවසීය. එසේම 8 වැනි පාර්ලිමේන්තුවේදී ආරම්භ කළ මෙම සංසදයේ කටයුතු මේ වන විට වඩාත් පුළුල් කරමින්  සිදු කරන මෙහෙවර පිළිබඳව   මයන්ත දිසානායක මහතා ඇතුළු සාමාජිකයන්ට ස්තූතිවන්ත වන බවද හිටපු නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

 

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා පවසා සිටියේ ප්‍රජාතන්තවාදය ශක්තිමත් කරමින් ගන්නා මෙවැනි ක්‍රියාවලින්ට සහය දෙමින් එම අභියෝග ජය ගැනීමේ විශාල වගකීමක් රාජ්‍ය නිලධාරීන් සතුවන බවයි.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පෙන්වා දුන්නේ මහජනතාව ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමේ විවෘත පාර්ලිමේන්තු සංකල්පය වඩාත් ශක්තිමත් කිරීම සදහා වත්මන් ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීම ඉතා වැදගත් පියවරයක් බවයි. එම කාරක සභා 17න් 8ක සභාපතිවරුන් විපක්ෂය ද 9ක් ආණ්ඩුපක්ෂය ද නියෝජනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පියවරයක් බව ද  පෙන්වා දුන්නේය. එසේම මෙම කාරක සභාවට තරුණයන් ඇතුළු මහජනතාවට සහභාගී වීමට අවස්ථාව හිමිව ඇති බව ද පෙන්වා දුන්නේය. ස්ථාවර නියෝග අනුව ඕනෑම පනත් කෙටුම්පතක් දෙවනවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡාවට ගෙන නිර්දේශය  ලබා ගැනීම අවශ්‍ය බැවින් වඩාත් විවෘතව ව්‍යවස්ථායක කටයුතු සිදු කිරීමේ අවකාශය ඇති බව ද වැඩබලන මහලේකම්වරයා පෙන්වා දුන්නේය.