Tuesday, September 09, 2025
Follow Us
‌ජනපත් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී දරුවන්ට දුන් අවස්ථාව

අනාගතය උදෙසාවූ සාධනීය අදහස් හා යෝජනා කෙටුම්පත් ලෙස ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමට සිසු දරුවන්ට අවස්ථාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. 

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙරට සියලු ශිෂ්‍ය පාර්ලිමේන්තු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා සම්බන්ධ කරමින් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවති රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

රත්නපුර දිස්ත්‍රික්කයේ සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධාන කෙරිණි.

ඒ අනුව රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා,අමාත්‍ය මණ්ඩලය තෝරාපත්කර ගැනීම සිදුවුණි.

අනතුරුව අග්‍රාමත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දුන්හ.

මෙහි දී සභාව අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, මෙරට ජීවනාලිය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බව ප්‍රකාශ කළහ. 

මෙහි දී සාර්ථක අයුරින් රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයී ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් එම විද්‍යාලය මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පිරිස වෙනුවෙන් සමරු සිහිවටන පිළිගැන්වීම ද සිදුකෙරිණි. 

තව ද ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන විද්‍යාලයීය සිසු දරුවන් වෙත සහතිකපත්‍ර ලබාදීමද සිදුවුණි. 

එමෙන්ම මෙහි දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව වෙත තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදී.