Friday, October 18, 2024
Follow Us
ජනාධිපතිට දෙන්නේ පැය 24යි ! - රතන හිමි පාලනය අරඹයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාව එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැය 24ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසින් ලබාදී තිබේ. එම කාලය තුළ අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයකට තමන් එළඹෙන බවත් රතන හිමි ප්‍රකාශ කළේය.

ආණ්ඩුකාරවරුන් පත් කරන්නේ ජනතාව විසින් නොව ජනාධිපතිවරයා විසින් බැවින් ඔවුන්ව ඉවත් කිරීමේ බලය ද ඇත්තේ ජනාධිපතිවරයාටම බවයි රතන හිමි සඳහන් කළේ.

මොහොමඩ් සාෆි වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට අසාද් සාලි ආණ්ඩුකාරවරයා තදබල ලෙස බලපෑම් එල්ල කර ඇති බව පැවසූ එහිමි පොලිස් නිලධාරීන් මාරු කිරීමට උත්සාහ කළ බවට ද සාලි මහතාට චෝදනා කළේය.

පසුගිය වසර 10 - 15 කාලය තුළ මෙරට ඉපදීමට සිටි දරුවන් 50,000ක් පමණ ප්‍රමාණයක් නවත්වා ඇතැයි තමන්ට අනුමාන වශයෙන් දැනෙන බව කී රතන හිමි ප්‍රකාශ කළේ ඇතැම්විට මෙය 500,000 දක්වා වර්ධනය වීමට ද හැකි බවයි.

රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (28) රාජගිරිය සදහම් සෙවණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පෙරේදා (27) පස්වරුවේ කුරුණෑගල රෝහලට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අතුරලියේ රතන හිමි ප්‍රකාශ කළේ ඉන් ඉදිරියට මහපාරේ සිට රට පාලනය කරන්නේ තමන් විසින් බවයි.

(LNW)