Tuesday, June 25, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ සියලුම ව්‍යාපාර QR කේතයක් යටතේ ලියාපදිංචි කිරීමට විශේෂ කාරක සභාවෙන් නිර්දේශ

ශ්‍රි ලංකාව තුල අන්තර්ජාල අවකාශයේ සිදුකරන යම් මහාපරිමාණ ව්‍යාපාර මගින් රජයට කිසිදු අදායමක් නොලැබෙන බවත් ඒ හේතුවෙන් මෙරට සියලු ව්‍යාපාර එක්‌ පද්ධතියක් ඔස්සේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කඩිනමින් සිදු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ මධුර විතානගේ මහතාගේ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමෙන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය.

මෙහි දී ව්‍යාපාර ලියාපදිංචි කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය තුළ මතුව ඇති ගැටලු හා එම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ජා විය.

රාජ්‍ය සේවකයින් තුළ ව්‍යවසායකත්ව මානසිකත්වයක් ඇති කිරීම ඔස්සේ වඩා ඵලදායී සේවයක් ලබා ගත හැකි බව සභාපතිවරයා මෙහි දී සඳහන් කළේය. 

එමෙන්ම රාජ්‍ය සේවකයින් දිවයින පුරා ක්‍රමවත්ව හා සාධාරණ අයුරින් ස්ථාන ගතකිරීමේ වැදගත්කම ද සාකච්ජා විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධතිය තුල ක්‍රමවේදයේ පවතින යම් යම් දුර්වලතා හේතුවෙන් ඉන් ලබාදෙන සේවාවන් වල කාර්යක්ෂමතාව පිළිබඳව ගැටලු මතුවී ඇති බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

පැමිණ සිටි නිලධාරීන් කමිටුව හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ මෙරට පළාත් 9ම ආවරණය වන පරිදි රාජ්‍ය ආයතනවල නිලධාරීන් එකම ක්‍රමවේදයකට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

එහි දී එම ආයතන සඳහා මාර්ගෝපදේශ ලබාදීම අත්‍යාවශ්‍ය බවත් ඒ ඔස්සේ රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම වීමෙන් ජනතාවට ඉහළ ගුණාත්මක හා මිත්‍රශීලි සේවයක් දිය හැකි බව එම නිලධාරීන්ගේ මතය විය.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලටම උපලේඛනයක් වශයෙන් හෝ ඒ ඒ අමාත්‍යාංශයන් නම් කරන්නේනම් ඉන් දිගුකාලීන,නොවෙනස්වන තීරණ ගැනීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දුන්හ. 

එමෙන්ම බහුකාර්ය හැකියාවන් සහිත රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැදගත්කම ගැනද මෙහිදී සාකච්ජා විය.

කාරක සභා සභාපතිවරයා මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පැයක් තුළ අවසන් කරන ආකාරයේ කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වා දියයුතු බවයි. 

ඒ අනුව ලංකාවේ සියලුම ව්‍යාපාර QR කේතයක් යටතේ ලියාපදිංචි කිරීමට කමිටුව නිර්දේශ කළේය.

සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේ සාධාරණ නොවන අයුරින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට ගතයුතු ක්‍රියාමාර්ග රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය තුල පවතිනවා ද යන්නයි. 

එහි දී බලධාරීන් පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ අල්ලස් හා දුෂණ විරෝධී පනත යටතේ හෝ ආයතන සංග්‍රහයේ විනය ක්‍රියාමාර්ග මගින් ඒ සඳහා කටයුතු කළහැකි බවයි.