Thursday, October 24, 2024
Follow Us
නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජික පිරිසක් කථානායකවරයා හමු වෙති

නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඇතුළු සාමාජික පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා (11) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

පසුගිය කාලය තුළ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තුව තුළ දී සහ ඉන් පිටත දී අධිකරණය, අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම මගින් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවට නීතිඥ සංගමය විසින් හඳුනාගෙන ඇති බව නවරත්න මහතා මෙහි දී සදහන් කළේ ය. 

විශේෂයෙන් දැනට සේවයේ නිරත විනිසුරුවරයන් නම් වශයෙන් සඳහන් කරමින් ප්‍රකාශ නිකුත් කිරීම ද දක්නට ලැබුණු බැවින් මෙම තත්ත්වය පිළිබදව නීතිඥ සංගමයේ කනගාටුව පළ කරන බව ද ඔවුහු පැවසූහ.

එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටි නීතිඥ සංගමයේ සභාපතිවරයා මීට අදාළ ලිඛිත ඉල්ලීමක් ද කථානායකවරයා වෙත භාර දීම සිදු කළේය.

මෙහි දී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ මෙරට විනිසුරුවරයන් ඇතුළු අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට තමා නිරතුරුව පෙනී සිටින බවයි. 

එබැවින් මේ සම්බන්ධව ඉදිරියේදී මන්ත්‍රීවරයන්ගේ අවධානයට යොමු කිරීමට අපේක්ෂා කරන බවත් කථානායකවරයා පැවසීය.