Saturday, July 27, 2024
Follow Us
බන්දුලගේ දුම්රිය ගේට්ටු ව්‍යාපෘතියට සජිත්ගෙන් මුදල්‍යාධාර

අනාරක්ෂිත දුම්රිය මාර්ග වෙනුවෙන් අනතුරු සංඥා පද්ධතියක් සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දීමට සමඟි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේය.

අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවලට අනතුරු සංඥා පද්ධතියක් සවි කිරීම අවශ්‍ය වුවත් පවතින තත්ත්වයන් යටතේ ඒ සඳහා මේ මොහොතේ රජයට මුදල් වෙන් කළ නොහැකි බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.

දුම්රිය මාර්ගවල ඇති අනතුරුදායක ස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීම වෙනුවෙන් අවම වියදම් යටතේ නව ගේට්ටු ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවත් ඒ සඳහා ලක්ෂ හත්දහස් පන්සීයක මුදලක් මාර්ග අනතුරු වැළැක්වීමේ ජාතික ආයතනය මඟින් ලබාදෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා අනෙක් මුදල් පුණ්‍යවන්තයන්ගෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

මේ සඳහා නව ගේට්ටු ක්‍රමවේදයක් හඳුන්වා දීම වෙනුවෙන්

මෙහි අත්හදා බැලීමක් පසුගිය පොසොන් පොහොය දවසේ කැලණි මිටියාවතේ ගොඩගම දුම්රිය ස්ථානය ආශ්‍රිතව සිදු කළ බවත් එය සාර්ථක බවත් ඇමැතිවරයා පැවසීය. 

ඊට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා මේ ව්‍යාපෘතියට සහාය පළ කරන බවයි.

එම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබෙන තෙක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන ලද ඇස්තමේන්තුව ලබා දෙන ලෙස ද විපක්ෂ නායකවරයා පැවසීය. එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඊට සහාය ලබා දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.