Sunday, May 11, 2025
Follow Us
බදු මුද්‍රාව (ස්ටිකරය) ව්‍යාජ ලෙස භාවිත කිරීමට එරෙහිව නිර්දේශ

ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් ආරක්ෂිත බදු මුද්‍රාව (ස්ටිකරය) ව්‍යාජ ලෙස භාවිත කිරීම මගින් රජයට සුවිශාල බදු ආදායමක් අහිමි වීම සම්බන්ධයෙන් මුලින්ම සාකච්ඡා ආරම්භ කරනු ලැබුවේ සහ උක්ත ක්‍රියාවලියට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ලබා දෙනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවීමට සම්බන්ධ සමාගම්වලට එරෙහිව පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති බවට 2023.09.03 දින ඇතැම් මාධ්‍යවල පළ වී තිබූ මාධ්‍ය වාර්තා පිළිබඳ අදහස් දක්වමිනි.
පාර්ලිමේන්තුවේ මෑත දී පිහිටුවන ලද මූල්‍ය අධීක්ෂණ කාරක සභාවක් වශයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව රජයේ ප්‍රධාන ආදායම් උපදවන ආයතන ත්‍රිත්වය වන ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල ක්‍රියාකාරිත්වය හා එම ආයතනවල සඵලදායී ආදායම් රැස් කිරීමේ යාන්ත්‍රණ සම්බන්ධයෙන් ද, බදුකරණය හා තීරු ගාස්තු හා රජයට අමතර ආදායම් රැස් කිරීම සඳහා අවශ්‍ය වන සියලු කාරණා සම්බන්ධයෙන් ද පරීක්ෂා කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බලය හිමි බව ද සභාපතිවරයා පැවසීය.
මෙම කරුණ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් පැවති කාරක සභාවේ රැස්වීම් ගණනාවක දී පුළුල් ලෙස පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර මෙම නීතිවිරෝධී ක්‍රියාවලියේ නිරත වන මත්පැන් නිෂ්පාදන සමාගම්වලට එරෙහිව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ගතයුතු පියවර හා එම පියවර ගත යුතු කාලසීමාව ද සම්බන්ධයෙන් කාරක සභාව විසින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කොට තිබෙන බව ද සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, ව්‍යාජ ආරක්ෂිත බදු මුද්‍රාව භාවිතා කිරීම වැලැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග හා ආරක්ෂිත බදු මුද්‍රාව ව්‍යාජ ලෙස භාවිතා කරන සමාගම්වලට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන නිර්දේශද ඇතුලත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ ක‍ළේය.