Sunday, May 11, 2025
Follow Us
එජාප සමුළුව දෙසැම්බරයට කල් යයි

මෙම මස දහවැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑහත්වන සංවස්තරය දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (03) පස්වරුවේ තීන්දු කර ඇත.

 

මෙම සංවත්සරය කොළඹ ලේක්හවුස් ඉදිරිපිට පිහිටි වාහන අංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එහෙත් කොළඹට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම වාහන අංගණයේ ජලය පිරී පවතින බව ජනාධිපති ආරක්ෂක අංශය විසින් වාර්තා කර ඇත. එම ජලය බේරේ වැවට බැහැර කිරීමේ නිසි වැඩපිළිවෙළක්ද නොමැත.

එමනිසා සංවත්සර උත්සවයේ කළමනාකරණ සමාගමට දැනුම් දී ඇත්තේ වාහන අංගණය වැසෙන පරිදි ආවරණ ඉදිකර ජලය බැස යාම සඳහා ක්‍රමවේදයක්ද සකස් කරන ලෙසයි. ඊට කාලය ප්‍රමාණවත් නොවන බව එම සමාගම දැනුම් දී ඇත. ඒ අනුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය, බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණය සංවත්සරය පැවැත්වීම සඳහා වෙන්කර ගැනීමට උත්සාහ කළද එම ක්‍රීඩාංගණ වෙනත් උත්සව සඳහා වෙන්කර ඇත.

ජනාධිපතිවරයා ඉදිරි මාස දෙක තුළ ඇමරිකා, චීන හා කියුබාවේ සංචාරවල නිරතවීමට සැලසුම් කර තිබීම නිසා දෙසැම්බර් මාසය දක්වා සංවත්සරය කල් දැමීමට සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සනාථ කළේය. මෙම සංවත්සර උත්සවයේදී පක්ෂයේ නව ව්‍යවස්ථාවද අනුමත කරගැනීමට නියමිතව තිබුණි.

Aruna