කුසලතා නමැති කුලුන ඔප්නංවා ගනිමින් සමබර වූ කුසලතා පූර්ණ ප්‍රශස්ත අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ප්‍රතිසංස්කරණයකට එහා ගිය නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයකට රජය මුල පුරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ තුළ ඉදිරියේ දී සියලු ගුරුවරුන් අධ්‍යාපනවේදී උපාධිධරයන් වශයෙන් සිසුන් අභිමුවට පත් කිරීම තම අපේක්ෂාව බවත් ඒ සඳහා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි යුගයේ ස්ථාපනය කරන ලද විද්‍යාපීඨ සියල්ල ඒකාබද්ධ කර පිහිටුවනු ලබන අධ්‍යාපන විශ්වවිද්‍යාලය උපස්ථම්භක වන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.
රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ ආයතන කිහිපයක ඒකාබද්ධ වීමෙන් පාසල් සියයක වෙළෙඳපොළ ප්‍රාග්ධන සංගම් පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ අප පසු කර වේගයෙන් ඉදිරියට ගොස් ඇති රටවල් සමග එක් වීම සඳහා ස්ටීම් (STEAM) අධ්‍යාපනය වැනි නවීන ආධ්‍යාපනික ක්‍රමවේද භාවිත කරමින් පන්තිකාමරය තුළ සිසුන් ලබන න්‍යායාත්මක හා සිද්ධාන්තික දැනුම ප්‍රායෝගික භාවිතයට ගැනීම පිළිබඳ වන ගළපාගැනීම් සිදු කිරීමට නොපැකිළ ව ප්‍රයත්න දරන බවයි.
වෙසෙසින් ම දරුවන්ට ආර්ථිකය හා මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දීමට බැංකු පද්ධතිය ඇතුළු මූල්‍ය ආයතන ද සම්බන්ධ කරගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. මෙම නව ප්‍රාග්ධන සංගම්වලට තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධි විෂය මුසු කර වේගවත් ආර්ථික මාවතකට ප්‍රවේශය ලබා වසර 15කින් පමණ පසුපසින් සිටින මෙරට අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම මෙම අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයන්හි මුඛ්‍ය අපේක්ෂාව බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.