Sunday, May 11, 2025
Follow Us
සංවර්ධනය ඇනහිට තිබෙන්නේ විදේශීය ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කර ගන්නා තුරුයි- ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන
මඩකලපුව දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් මඩකළපුව දිස්ත්රික් ලේකම් කාර්යාලය ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
ප්රවාහන හා මහාමාර්ග ක්ෂේත්රයට අදාළව දිස්ත්රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව අමාත්යවරයා විසින් එහි දී පැහැදිලි කිරීම් සිදු කරන ලද අතර දිස්ත්රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද පැහැදිලි කිරීමක් සිදු විය.
එහිදී අදහස් දැක්වූ අමාත්යවරයා,
"තිස් වසරක යුද තත්ත්වයෙන් බිඳ වැටුණු උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ක්රියාත්මක වූ උතුරු වසන්තය සහ නැගෙනහිර උදානය වැනි ව්යාපෘති වලට අති විශාල මුදල් ප්රමාණයක් රජය වියදම්කර තිබෙනවා. මෙය ණය හා ආධාර ලෙස ලබාගෙන තිබෙනවා.
රටක් ලෙස අප ලබාගත් විදේශ ණය මෙතෙක් පියවා නොමැති වීම හේතුවෙන් මේ වනවිට විශාල ණය අර්බුදයකට මුහුණ පා තිබෙනවා. විදෙශ ණය ගෙවීම් ප්රතිව්යුවගත කරන තුරු රටට කිසිදු විදේශ ණය ආධාරයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. නැගෙනහිර පළාත ඇතුළුව දිවයිනේ සැම ප්රදේශයකම සංවර්ධන කටයුතු මේ වන විට ඇණහිට තිබෙනවා. අපේ අමාත්යාංශයට අදාළ මංමාවත් සංවර්ධනය ඇතුළු සියලු සංවර්ධන කටයුතු සිදු කළ හැකි වන්නේ රටට නැවතත් විදේශ ණය ආධාර ලබා ගැනීමට හැකි වුවහොත් පමණයි. ඒ සඳහා කිසිදු දේශපාලන විසඳුමක් නැහැ. රටක් වශයෙන් අප ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 36 ක පමණ ණය ප්රමාණය 2048 වසර දක්වාම ගෙවීම් සිදු කළ යුතුම වනවා. කවර නායකයකු යටතේ, කවර රජයක්‌ බලයට පත් වුවත් ණය ගෙවීම පිළිබඳව අර්බුදයෙන් ගැලවීමක් නැහැ.
ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්රමුඛ රජය, විදේශීය මිත්ර රජයන්, ජාත්යන්තර ආයතන හා ඒකාබද්ධව සිදු කරගෙන යන ණය ප්රති ව්යුහගත කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමෙන් අනතුරුව නැවත වතාවක් සංවර්ධනයේ අරුණලු රටට උදා වනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ අවස්ථාවේ දී දකුණු පළාතට මෙන්ම උතුරු නැගෙනහිර පළාත් වලටත් විශේෂ ප්රමුඛතාවයක් ලබා දෙමින් නතර වී ඇති සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන බව ප්රකාශ කිරීමට මා කැමැතියි.
එතෙක් පවතින සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් රුපියල් බිලියන 3.9 ක ණය ප්රමාණයක් ලබා දී තිබෙනවා. අමාත්යවරයා ලෙස මට හෝ රාජ්ය අමාත්යවරයා ලෙස සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් මැතිතුමා හෝ වෙනත් මැති ඇමතිවරයෙකුට අවශ්ය මාර්ග එම මුදල්වලින් සංවර්ධනය කිරීමට හැකියාවක් නැහැ. එම අරමුදල් යොදා ගනිමින් සංවර්ධනය කිරීමට හැකි වන්නේ ආසියානු සංවර්ධන බැංකුව විසින් තෝරා ගන්නා ලද මාර්ග පමණයි.
එමෙන්ම දිගින් දිගටම විශාල වශයෙන් පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව ලාභදායී තත්ත්වයට පත් කිරීම සඳහා ඌන උපයෝජිත ඉඩම් ඇතුළු වත්කම් කළමනාකරණය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක වනවා. නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්රදේශවල දුම්රිය සතු ඉඩම් අනවසරයෙන් භුක්ති විඳීම දක්නට ලැබෙනවා. මේ සඳහා අයවිය යුතු බදු මුදල් නිසි ආකාරයෙන් අයකර ගැනීම සහ විනිවිද පෙනෙන ආකාරයේ සංවර්ධන ව්යාපෘති සඳහා දිගුකාලීනව බදුදීම තුළින් පළාතේ දියුණුවක් ඇති කිරීමට රජය සුදානම්.
මඩකලපුවේ සිට යාපනය දක්වා නව දුම්රියක්‌ යොදවන ලෙස ද විශාල ඉල්ලුමක් පවතිනවා. ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කරමින් ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ ඉදිරියේදි දුම්රිය කිහිපයක් මෙරටට ලබා ගැනීමේ සාකච්ඡා සිදුවෙමින් පවතිනවා.එම සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරි වසර තුළ මෙම ප්රදේශයේ ජනතාවගේ ඉල්ලීමද ඉටු කිරීමට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා.