Sunday, May 11, 2025
Follow Us
අයවැයට පෙර සමෘද්ධි නිලධාරින්ගේ පරිපාලන ගැටලු විසඳන්න

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමෘද්ධි නිලධාරීන්ගේ මෙතෙක් නොවිසඳුනු ගැටලු සම්බන්ධයෙන් අද ( 28 ) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

සමෘද්ධි දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමේදී 44 ඉ(11) වගන්තිය යටතේ මනාපය පළකළ නිලධාරින් රජයට ගෙවිය යුතු සියයට 60 අර්ථ සාධක අරමුදලේ දායකත්වය ගෙවීමේදී අමතර සියයට 4 පොළියක් අයකිරීමට ඇති තීරණය අසාධාරණ බව ද වෘත්තීය සමිති සදහන් කළේය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ තනතුරු හා සේවක සංඛ්‍යාව අනුමත කරවා ගැනීම, සමෘද්ධි නිලධාරින් එම්. එන් 02 වැටුප් තලයේ පිහිටුවීම, උසස්වීමේ ක්‍රමවේදයක් සැකසීම, සමෘද්ධි නියාමක සේවා කාලය සමෘද්ධි සංවර්ධන සේවා කාලයට එක් කිරීම, වැන්දඹු අනත්දරු අරමුදල් සඳහා හිඟවාරික ගෙවීමේදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට වැල්පොලිය සහිත සියයට 4ක අධිභාරයක් ගෙවීම ආදී ගැටලු මෙහිදී අවධානයට යොමු විය.


මෙම ගැටලු විසඳීමට බාධා වී ඇති අණපනත්, චක්‍ර ලේඛන සම්බන්ධයෙන් නිලධාරීන් මෙහිදී කරුණු පැහැදිලි කළේය.


ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ රට අර්බුදයකට මුහුණ දී සිටින මේ මොහොතේ නිහතමානීව මෙකී ගැටලු විසදා ගැනීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍ය බවයි.


සමෘද්ධි නිලධාරින්, සමෘද්ධි දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කළ ආකාරයට ම වෙනත් අධිකාරීන් දෙපාර්තමේන්තු බවට අන්තර්ග්‍රහණය කිරීම් සිදුව ඇති හෙයින් එවැනි අවස්ථාවන් පූර්වාදර්ශ ගනිමින් මෙම ගැටලු කඩිනමින් විසදීමට පියවර ගන්නා ලෙස මෙහිදි අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද සඳහන් කළේය. රජයේ සේවකයින්ගේ ගැටලු නොවිසඳීම කාර්ය සාධනය පසුබැසීමට හේතුවක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.