Saturday, November 30, 2024
Follow Us
අර්බුදය යළි කරළියට. සජිත් දිනපු ගමන් රනිල්ව අයින් කරනවා - අජිත් පී.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ සැණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව තනතුරින් ඉවත් කර ඊට තම පාර්ශ්වයේ අයෙකු පත් කරගන්නා බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති බවත් ඒ හරහා යළිත් එජාපය තුළ අභ්‍යන්තර අර්බුදය උත්සන්න වී ඇති බවත් වාර්තා වේ.

සජිත් පිලේ කැපී පෙනෙන කථිකයෙකු මෙන්ම අවස්ථා ගණනාවකදී පක්ෂ නායකත්වය අපහාසයට උපහාසයට ලක් කළ පුද්ගලයකු වන අජිත් පී. පෙරේරා මහතා රනිල් ඉවත් කරන කතාව මුලින් මුලින් තම සමීප හිතවතුන් අතරේ ප්‍රචාරය කර ඇති අතර පසුව ඔහු එය ප්‍රසිද්ධියේම පවසන්නට ද පටන් ගෙන තිබේ.

මෙම කතාව ආරංචි වීමෙන් අනතුරුව තමන්ගේ ඔත්තු සේවා ඔස්සේ එය තහවුරු කරගෙන ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර සොයාබැලීමේදී සජිත් පාර්ශ්වය විසින් සංවිධානාත්මකවම මෙම ප්‍රචාරණය මෙන්ම ඊට අදාළ වෙනත් කටයුතු ද කරගෙන යන බවත් අජිත් පී. පෙරේරා පමණක් නොව තවත් මන්ත්‍රීවරුන් ගණනාවක් මීට සම්බන්ධ බවත් අනාවරණය වී ඇත.

ඉන් කලකිරීමට පත් අග්‍රාමාත්‍යවරයා සජිත් පිලටම අවශ්‍ය ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයත් කරගැනීමට ඉඩ දෙමින් එහි කටයුතු වලින් ද සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

තීරණාත්මක ජනාධිපතිවරණයක් මුවවිටේ තිබියදී, පක්ෂය තුළ ජ්‍යේෂ්ඨයින් ද නොවන තෙවනි පෙළේ අජිත් පී. වැන්නන් යොදවා ගනිමින් තමන්ට එරෙහිව පක්ෂය තුළම ප්‍රචාරණයන් ගෙන යාම රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි කෝපයට සහ පිළිකුලට හේතුවී ඇති බව සඳහන්.

මේ අතර පසුගිය 13 වනදා පටන් දිනපතාම සජිත් ප්‍රේමදාස මහතාගේ වොක්ෂෝල් වීදියේ මැතිවරණ කාර්යාලය, අරලියගහ මන්දිරය සහ සිරිකොත පක්ෂ මූලස්ථානය යන ස්ථාන තුනේම මාධ්‍ය හමු පැවැත්වීමට සැලසුම් කර තිබුණත් මේ වනවිට අරලියගහ මන්දිරයේ සහ සිරිකොත මූලස්ථානයේ මාධ්‍ය හමු අවලංගු වී තිබීමෙන් මෙම ආරංචි යම් ප්‍රමාණයකට තහවුරු වේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමෙන් පසුව තාවකාලිකව සමනය වී තිබුණු එජාප නායකත්ව අර්බුදය ඉතාම කෙටි කලක් තුළ ඉතාම හානිදායක මොහොතක යළි කරළියට පැමිණ ඇති බව පෙනේ.

(LNW)