පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ සභාවේ වැඩකටයුතු කරගෙන යාමේදී සහ සමහර අවස්ථාවලදී සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් මෙම උත්තරීතර සභාවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බව ගරු සභාවේ අවධානයට යොමු කරන බව කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
විශේෂයෙන් සභාවේ වැඩකටයුතු පවත්වාගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව එම කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී ආකාරයෙන් මෙහෙයවීමට ගරු කථානායකතුමාට/මූලාසනයට උපදෙස් ලබාදීමේ සහ සහායවීමේ නිලධාරීන් වශයෙන් ව්‍යවස්ථානුකූලව සිය වගකීම ඉටුකිරීමට බලපෑමක් මෙවැනි කටයුතු හරහා විය හැකි බව ද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය. එබැවින් එලෙස පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන තර්ජනය කිරීම්, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කාරුණිකව දැනුම් දෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.
තවද, නිලධාරීන් පිළිබඳ එවැනි චෝදනා ඇත්නම් ඒවා කථානායකතුමා වෙත යොමු කරන ලෙසද නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.