Saturday, November 30, 2024
Follow Us
චන්ද්‍රිකා අද ආපසු එයි. ශ්‍රීලනිපයේ දෙකක් දැනටමත් හෙළවෙන ලකුණු !

විදෙස්ගතව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අද (19) දිනයේදී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැඩි කැළඹීමක් සිදුවන ලකුණු පහළ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රීලනිපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ගත් තීරණයට එරෙහිව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පසුගිය සතියේදී තියුණු විවේචනයක් ඉදිරිපත් කර තිබිණි. ඇය එය පක්ෂය පාවාදීමක් ලෙසයි හඳුන්වා තිබුණේ.

එමෙන්ම විදෙස්ගතව සිටියදීම ඒ මහත්මිය ශ්‍රීලනිප සංවිධායකයින් ගණනාවක් සමඟ දුරකථනයෙන් සාකච්ඡා පවත්වා තිබුණු අතර පොහොට්ටුවට සහාය පළකිරීමට එකඟ වී සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා කර තිබිණි.

මේ අතරින් පළමු වටයේදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වනු ඇති බවට ආරංචියක් ද දැන් පැතිර යමින් ඇත.

විශෙෂයෙන් වත්මන් ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා තාවකාලිකව හෝ සිය තනතුර අත්හැර සිටින තත්වයක් තුළ, පක්ෂ නිර්මාතෘ එස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය වශයෙන් චන්ද්‍රිකා මැතිණියගේ මැදිහත්වීම පක්ෂ සංවිධායකයින්ට ඉතාමත්ම තද බලපෑමක් කරනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

(LNW)