මූල්‍ය විනයක් නොතිබූ රටක් මේ වන විට මූල්‍ය විනයක් ඇති රටක් බවට පත් කර තිබෙන බවත්, ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ දේශපාලන වාසි බලාගෙන නොවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
ගාල්ල තලාපිටිය මුස්ලිම් පල්ලියේදී පැවති හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (18) උදෑසන අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.
මූල්‍ය විනයක් නැතිවෙලා, මැතිවරණ වෙනුවෙන් මුදල් බෙදපු රටක්, දැන් මූල්‍ය විනයක් ඇති රටක් බවට පත් කරලා තියෙනවා. ලෝක බැංකුව හරි වෙනත් ඕනම ආයතනයක් ණයක් ලබාදෙන විට ඒ ණය නැවත ගෙවන්න ක්‍රමවේදයක් තිබෙනවාද කියලා බලනවා. මේ වන විට අවුරුද්දක් ඇතුළත අපේ රටේ මූල්‍ය විනය හදලා තිබෙන බව පෙන්නලා තියෙනවා. හොරකම් කරන්න බැරි විදියට දූෂණ විරෝධී පනත ගෙනත් නීති ශක්තිමත් කරලා තියෙනවා.
මේ රටට ණය දෙන්න, ආයෝජන කරන්න තියෙන බය නැති කරලා තියෙනවා.
අනවශ්‍ය විදියට සහනාධාර ලබාදීම නියමානුකූල කරලා තියෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතනවලට ජනතාවගේ බදු මුදල් යට කරන එක නතර කරලා මූල්‍ය විනය හදාගෙන තියෙනවා. අපි හිටපු තැන ඉදලා ගොඩක් ඉදිරියට ඇවිත් තියෙනවා. ඩොලර් සංචිතයක් නැතිව පටන් ගත්ත රටක් ඩොලර් බිලියන හතරක සංචිතයක් ඇති රටක් බවට පත් කරගෙන තිබෙනවා.
විදේශ ගත ශ්‍රමිකයින්ට, ඩොලර් මේ රටට එවන අයට වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදී තිබෙනවා. මේ වන විට දෙසීයට අධික වාහන බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. ඉදිරියට විද්‍යුත් වාහන ආනයනයට සහන ලබාදෙනවා. ලොරි, බස් ගේන්න තියෙන තහනම අයින් කරලා තියෙනවා. රටේ නතරවී තිබෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඇතුළු ක්ෂේත්‍රයන් නැවත ආරම්භ විය යුතුයි. අනෙක් වාහන ආනයනයට අවසර දීමට යම් කාලයක් ගතවේවි.
මේ වෙලාවේ ඡන්ද ගැනවත්, දේශපාලනය ගැනවත් හිතන්නේ නෑ. අපි රටේ ආර්ථිකය ගැන තමයි හිතන්නේ. ඒ නිසා තමයි යම් යම් පාලනයන් ඇතිව අපි වැඩ කටයුතු කරන්නේ.
අපිට ඕන මේ රටේ මිනිස්සු සාමයෙන් ජීවත් වෙන්න. සිංහල පමණයි, සිංහල රාජ්‍ය භාෂාව කියලා ජාතිවාදය පාවිච්චි කළා. පාස්කු ප්‍රහාරය දක්වා ජාතිවාදය ඡන්ද වෙනුවෙන් භාවිතා කළා. ඒ ඒ ජාතීන්ට නිසි ගරුත්වය ලබාදෙන වැඩපිලිවෙලක් අවශයයි. 13 වැනි සංශෝධනය හරහා බලය ලබාදීලා, ජාතිවාදය ඡන්දවලට යොදාගන්න ඉඩ නොදෙන තත්වයක් අපි ඇති කරනවා. ජනාධිපතිතුමා ඡන්ද බලාගෙනවත්, දේශපාලනය බලාගෙනවාත් වැඩ කරන්නේ නෑ. උතුර තරහ වෙයි, දකුණ තහර වෙයි කියලා හිතන්නේ නැතිව වැඩ කරනවා. මේ වෙලාවේ කිසිදු පක්ෂයක් දේශපාලන වාසි බලනන් හොද නෑ. අපි ආණ්ඩු කළත් දේශපාලන වාසි බලන්නේ නෑ. අපි රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් දේශපාලන වශයෙන් වාසි නොවන තීන්දු ගන්නවා. දැන් මිනිස්සු දේශපාලන වාසි වෙනුවෙන් ගන්න තීන්දු මොනවද කියලා තේරුම් අරගෙන ඉන්නවා.